නාසය උඩ එන කුරුලෑ කැඩුවොත් භයානක ප්‍රතිඵල.

0
305

කුරුලෑ හැදෙන්න ගත්තම මූණෙ විතරක් නෙවෙයි පිටේ පපුවේ වුණත් හැදෙන්න පුළුවන්. සමහර කුරුලෑ දෙතොල ලඟින් හැදෙන්නට පුළුවන් වගේම නාසයටත් කුරුලෑවලින් ගැලවෙන්නට බැහැ. අධිකව කුරුලෑ තියෙන අයගෙත් එකක් දෙකක් තියෙන අයගෙත් අත නිරායාසයෙන් කුරුලෑවට යැවෙන එක මානසිකව ඇතිවන පෙළඹවීමක්. කුරුලෑව අත පත ගෑම නිසා පැසවීම වගේම කැඩී යාමත් සිදුවෙන නිසා මුහුණේ සම මත සිදුරු සහ කැළැල් මතුවීම මෙන්ම සම ඛාදනය වී ලොකු කැළලි මතුවෙනු දකින්නට පුළුවන් .

සම මත කුරුලෑ එන අය විශේෂයෙන්ම හිස්හොරි ගැනත් අවධානය යොමු කළ යුතුයි.

ඉස්හොරි නාශක ෂැම්පූ හෝ කෝල්ටාර් සබන් මෙන්ම ඉදුනු ඇඹුල් කෙසෙල් පොඩි කර නාන්නට කලින් හිස ගල්වා විනාඩි විස්සක් විතර තිබෙන්නට හැර ස්නානය කිරීමෙන් ඉස්හොරි මර්දනය කරගන්නට හැකියි. නින්දේදී ඉස්හොරි කුඩු කොට්ටය මතට වැටෙන අතර මුහුණේ සමේ තැවරී රෝම කූප ඇහිරෙන්නට ඉඩ කඩ සැලසුන විට අවහිරවූ රෝම කූපය අසල ඉදිමී සැරව පිරී සමෙන් පිටතට කුඩා ගඩු ලෙස මතුවෙන්නට පුළුවන් .මේවා ගඩු මිස කුරුලෑ නෙවෙයි. නමුත් කුරුලෑ අතර මේවාත් වර්ධනය වීමෙන් සම අවලස්සන වෙන බව අමතක නොකල යුතුයි. නාසය උඩ කුරුලෑවක් ආවොත් එය මිරිකා ඉවත හල යුතුද?

සාමාන්‍යයෙන් නාසය උඩ ඇතිවන කුරුලෑ අධික වේදනාකාරී බව ඔබ අත්විඳ ඇති .මෙවන් විටෙක වහාම වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුතු වෙනවා. එහි විෂබීජ නාසය සෑදී ඇති කාටිලේජ දක්වා පැතිරුණහොත් නාසයේ හැඩය පවා වෙනස්වෙන්නටත් නාසය විකෘති වෙන්නටත් පුළුවන් .

උඩුතොලේ හා නාසයේ අපිරිසුදු ලේ හෘදය දක්වා රැඟෙන යන ශිරාවලින් සමහරක් කපාල කුහරය තුළ ඇති ශිරා සමග සම්බන්ධය. මේ නිසාම එම ශිරා ඔස්සේ විෂබීජ කපාල කුහරය ට ඇතුල් වී පැතිරයාමේ අවදානමක්ද පවතියි.

එසේ වීම ඉතා භයානක තත්ත්වයකි. මේ නිසාම නාසය අවට ඇති ප්‍රදේශයට ,මුහුණේ අවදානම් ප්‍රදේශය යන අන්වර්ථ නාමයක් ද යෙදෙයි. එම ප්‍රදේශයේ ඇති කුරුලෑ කඩා මිරිකුවහොත් එම ආසාදනය ඇතුළට පැතිරිය හැකිය.මෙය ඉතා අවදානමක් කැඳවන කාරණයක් නිසා නාසය උඩ හා ඒ අවට ඇති කුරුලෑ වල සැරව පිරී ආසාදනය වී ඇති විට ආසාදනය ඇතුළට පැතිරිය හැකිය.එම තැනැත්තාට හෝ තැනැත්තියට දියවැඩියා රෝගී තත්ත්වය ද පවතී නම් විෂබීජ පැතිර යාමේ අවදානම ඉතා වැඩි නිසා රෝහල් ගතකර ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන්නටද සිදුවිය හැකිය. කෙසේ නමුත් ප්‍රතිජීවක ආවාට ගියාට ලබා නොගත යුතු අතර අතරමග නැවැත්වීමද නොකල යුතුය.

උපදෙස් උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය ගෙනි.

සටහන යසස්වීනී ජයතිලක

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න