ඔබට මානසික ප්‍රශ්න තියෙනවාද?

0
381

” මනස ” Service ” කරගන්න ……..
මානසික ආතතිය මීට දශක කිහිපයකට පෙරට වඩා දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. වැඩිහිටියන්ට පමණක් නෙවෙයි දරුවන්ටත් එය සාමාන්‍ය තත්ත්වයක්..

” ….මට පුදුම ඔලුව කැක්කුමක් තියෙන්නේ…..”

” ..උදේට නැගිටිනකොට මුළු ඇඟම රිදෙනවා..”

“… දවස පුරාම ඇඟට පන නෑ වගේ ..”
මෙවැනි තත්ත්වයන් මත වෛද්‍යවරුන් හමුවන බොහෝ රෝගීන්ට සියලු වෛද්‍ය වාර්තා පිරික්සීමෙන් පසු වෛද්‍යවරුන් අසනු ලබන පොදු ප්‍රශ්නයක් වන්නේ
” ඔබට මානසික ප්‍රශ්න තියෙනවාද ..”
යන්නයි .
සමහරවිට එයට නිසි ලෙස පිළිතුරු දීමට ඔබට අපහසු වන්නත් පුළුවන්. ඊට හේතුව ශ්‍රී ලාංකේය ජන ජීවිතය තුල ශාරීරික රෝග පිළිබඳව එළිපිට කතා කතා කළත් මානසික ප්‍රශ්න හෝ මානසික රෝග පිළිබඳව එළි පිට කතා කිරීමට ඇති පසුගාමී බවයි. “..එයාට පිස්සු ..”
යන ලේබලය වදී කියා සගවන මේ ප්‍රශ්න මේ ආකාරයට වඩා බරපතල වී බොහෝ මානසික රෝග බවට පත්වීම සාමාන්‍ය සිරිතයි .
තවමත් මනෝවිද්‍යා උපදේශනය වැනි සේවාවන් කෙරෙහි ශ්‍රී ලාංකික ජනතාව යොමු වීම ඇත්තේ අඩු මට්ටමක් ..
එසේම පිළිකාව වැනි රෝග සඳහා මෙම මානසික ආතතිය බලපාන බව හා වර්ධනයට හේතුවක් බවත් සමහර වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා.
විශේෂයෙන්ම පියයුරු පිළිකා හා ආමාශගත පිළිකා සඳහා මෙම මානසික ගැටලු සහ ආතතික තත්වය හේතු වන බව වෛද්‍ය සමීක්ෂණ වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මානසික ආතතිය බොහෝ රෝගවලට හේතු කාරකයක් බව වෛද්‍ය මතයයි .
මනෝවිද්‍යා උපදේශන සේවාව යොමුවීමට උදාසීන වීමටත් මානසික මට්ටම බලපාන බව පැහැදිලියි.
“…..මගේ මානසික ප්‍රශ්න මං විතරයිනෙ දන්නේ ..වෙන කාටවත් පේන එකක්යැ…ඕව කියන්න ගිහින් රටම දැනගන්නවා …මට තියෙන ප්‍රශ්න ……”

මේ ආකාරයට සිතීමත් ඊට හේතුවක් වෙනවා. යුරෝපීය රටවල පවුලේ මනෝවිද්‍යා උපදේශක වරයෙක් සිටිම හරියට ” පවුලේ වෛද්‍යවරයා” හෝ ‘ පවුලේ නීතිඥයා” වගේ සාමාන්‍ය දෙයක්.
කෙසේ වෙතත් මානසික ආතතික තත්ත්වයන් අපගේ ජීවිතයේ අධ්‍යාපනික වෘත්තීයමය පමණක් නොව අන්තර් පුද්ගල සබඳතා කෙරෙහිද ඉතාමත් පැහැදිලි ලෙස බලපාන බව පැහැදිලියි. කොටින්ම පුද්ගල සාර්ථකත්වයට ” මනස’ කේන්ද්‍රීය ස්ථානයක් නම් එහි සුවතාවය පිනිස පියවර ගැනීම කළ යුතුමයි .
මනෝවිද්‍යා උපදේශනය ගත යුත්තේ කුමන අවස්ථාවේදී ද ……?
යන්න බොහෝ අයට ගැටලුවක් .
කෝච්චියට පනින්නට ගොස් බේරාගත් පසු , වස පානය කොට ජීවිතය ගලවා ගත් පසු ආදී ලෙස බරපතළ මානසික කඩා වැටීමකට පසුව බොහෝ අය මනෝවිද්‍යා උපදේශන සේවය සදහා යොමුවනවා .
එසේම පවුල් ජීවිතය අසාර්ථකවී දික්කසාදය දක්වා ගිය පසු මනෝ විද්‍යා උපදේශනය සොයා එනවා .
සැබවින්ම මනෝවිද්‍යා උපදේශනය අවශ්‍ය කුමන විට ද ……?
එය ඕනෑම විටක ඔබගේ මානසිකත්වය සඳහා සුවතාවක් ලබා දෙන විද්‍යාත්මක ක්‍රමවේදයක්.
ප්‍රශ්නයක් නොතිබුනත් ඔබගේ වාහනය යම්කිසි කාල සීමාවක් ඇතුළත
” සර්විස් ” කරගන්නා සේ ඔබගේ ජීවිතය ද
” සර්විස්’ කරගැනීමට ඔබ දෙවරක් සිතිය යුතු නෑ ..
ඔබට මාස හයකට වතාවක් නිසි මනෝවිද්‍යා උපදේශනය සඳහා යොමුවිය හැකි නම් එය ඔබේ ජීවිතයේ දැන් පවතිනවාට වඩා සාර්ථකත්වය හා ප්‍රීතිමත් ජීවත්වීමට හේතුවක් වන බව නම් සිකුරුයි.
විශේෂයෙන් දූ දරුවන්ගේ මුරණ්ඩුකම කේන්ති යාම පාඩම් වැඩ ප්‍රතික්ෂේප කිරීම සැමවිටම සෘණාත්මක අදහස් පළ කිරීම ආදී සාමාන්‍ය මට්ටමෙන් ඔබ්බට ගිය මානසික තත්වයන් හෝ චර්යාමය තත්වයක් ඇත්නම් මනෝවිද්‍යා උපදේශනය ඒ සඳහා සාර්ථක මගපෙන්වීමක් ලබාදී දරුවාගේ ජීවිතය ශක්තිමත් ධනාත්මක
හා සාර්ථක දිශාවකට යොමු කරවීමට අත්වැලක් ලබා දෙන බව ඔබ දැනගත යුතුයි…

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ,
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න