“අපේ එකම දරුවා කේතකී…ඕනෑම දෙයක් ඉතා උවමනාවෙන් හොඳට කරනවා .ඒත් පාඩම් කරන එක තමා අපේ ළමයට කරන්න බැරිම දේ…. ඉස්කෝලේ යන්න වත් පන්ති යන්න වත් ඉගෙන ගන්නවත් පාඩම් පොතක් අල්ලන්නවත් මේ ළමයට කිසිම උවමනාවක් නෑ….”
කේතකීගේ දෙමව්පියන්ගේ ගැටළුව වූයේ එයයි.
මෙහිදී මේ කියැවෙන්නේ දෙමව්පිය වැඩිහිටියන් ගේ මනෝභාවයන් හා දරුවන්ගේ මනෝභාවයන් තුල ඇතිවන ඝට්ටනය නොවේද …..? මව්පියන්ගේ යටි සිතේ ඇත්තේ ඔවුන් අධ්‍යාපන ක්‍රියාවලියේ දී මුහුණ පෑ ගැටලු , ලඟා කරගත නොහැකි වූ අරමුණු හෝ තමන් ළඟා කර ගත් මට්ටමට වඩා ඉදිරියට වඩා සාර්ථක ලෙස දරුවන් පෙළඹවීමේ අවශ්‍යතාව වැනි තමාට හෝ අවට පරිසරය තුළින් කවදා හෝ සිතට දැනී ඇති අවදානම් සදහා දරුවා කල් ඇතිව සූදානම් කරවීමයි.
එහෙත් දරුවාට අවශ්‍ය වන්නේ සාමාන්‍ය , සරල හා ස්වභාවික ජීවිතයකි. එනම් ස්වාභාවික පරිසරය , සෙල්ලම් සමග ලෝකය සොයා ගැනීමට තම සිතට නැගෙන කුතුහලයට පිළිතුරු සොයායෑම මිස විභාග සඳහා පිළිතුරු සෙවීම නොවේ.
එහෙත් පවතින සමාජය තුළ දරුවාට නිසි අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍ය සාධකයකි. එසේ නම් මේ තත්ත්වය එකගතා මට්ටමකට ගෙන ඒමට වැඩිහිටියන් නම්‍යශීලී වීම සහ දරුවා යොමු කරවීමේ හැකියාව සොයා බැලිය යුතුය. මෙහිදී සෑම වැඩිහිටියකුටම හෝ සෑම දරුවකුටම අදාළ පොදු සාධක ඇත්තේ අඩු වශයෙනි.
එහෙයින් දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද යම් මගපෙන්වීමේ උපදේශන ක්‍රියාවලියක සහාය ගැනීමෙන් මෙම ගැටලුව පහසු ලෙස විසඳා ගැනීමේ හැකියාව ලැබේ. පෙර කී කේතකී දැරිය අවුරුදු දහයක සිසුවියකි. ඇය එවකට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියකි. ඊට වසරකට පමණ පෙර ඇගේ දෙමව්පියන් ඇයව කැඳවාගෙන ආවේ පාඩම් කිරීම ඇගේ ජීවිතයේ ඇති අප්‍රසන්නම දෙයක් බව පවසමිනි.
” ඕනෑම දෙයක් කරන්න කැමතියි… හරිම කීකරුයි …ඒත්
පාඩම් කිරීම විතරක් පෙන්නන්න බෑ .මතක තියන දේවල් වලින් තමා මේ දක්වා විභාග ලිව්වෙත්…” දෙමව්පියන්ගේ සිත් ඉතාම කම්පනයට පත්ව තිබිණි .විභාග ලිවීමට, පාඩම් කිරීමට , මතක තබා ගැනීම ආදී සියලු දේට මනස පදනමක් බව ඔබ දන්නා කරුණකි. එසේ නම් මේ දැරියගේ මනසට යම් අදහසක් යෝජනාවක් සිතුවිල්ලක් බලපෑම් කරන බව බැලූ බැල්මට ම පැහැදිලි වන කරුණකි.
සාමාන්‍ය ජීවිතයේදී සෑමවිටකම මනසට ධනාත්මක හෝ ඍනාත්මක සිතුවිලි ඇතුල් කර ගන්නා අතර අප මනසේ ඒවා විශේෂයෙන් ඍණාත්මක සිතුවිලි ඉතා තදින් තැන්පත් වීමේ ප්‍රවණතාවක් ඇත. දැරියගේ සාකච්ඡාවේදී හෙළි වූයේ අපූරු කතාවකි.
දැරියගේ දෙමාපියන් උපාධිධරයන්ය. දැරියගේ පියාගේ මව එනම් ඇගේ මිත්තණිය ඉතා අඩු අධ්‍යාපනයක් ලැබූ කෙනෙකි. ඇය නිතර කියන කතාවක් පුංචි කේතකීගෙ සිතේ බලවත්ව තැන්පත්ව තිබුණි .
” අපේ දෙමව්පියෝ කිව්වේ ගෑනු ළමයි එච්චර ඉගෙන ගන්න ඕනේ නෑ කියලා ….මාත් පාඩම් කරන්න කැමති නෑ ….ඉතින් මම මේ හොඳට කිසි අඩුවක් නැතිව හොදින් ඉන්නේ…….”
මෙය නිතර නිතර ඇසීමෙන් දැරියට ස්වයං යෝජනාවක් මනසේ බලවත්ව ක්‍රියා කරන්නට විය .
සිත සැහැල්ලු කර මානසික හා මොළය සම්බන්ධ විද්‍යාත්මක උපායමාර්ග හා අභ්‍යාස කිරීමෙන් පසු ඇය ඉතාමත් සතුටින් පාඩම් කිරීම ආරම්භ කළ බව දෙමව්පියෝ සතුටු සිතින් පැවසුවෝය.
මෙහිදී ඔබට පැහැදිලි වන කරුණක් විය යුත්තේ දරුවන් හට නිතරම අවට පරිසරයෙන් ඇසෙන පෙනෙන අත්දැකීම් වන කරුණු ඔවුන්ගේ මනසේ ස්වයං යෝජනා එහෙමත් නොමැති නම් යම්කිසි පදනමක් ලෙස තැන්පත් වන බවයි. පුද්ගලයෙකු ජානමය සංකල්ප වලින් බැහැරව අවට පරිසරය තුළින් තම ජීවිතය ප්‍රතිනිර්මාණය කරගනු ලබයි .
ඔබේ දරුවන් පමණක් නොව ඔබද ධනාත්මක පරිසරයක සැරිසැරීම කටයුතු කිරීම ඉතාමත් වැදගත් වන්නේ ඔබ නොදැනුවත්වම ඔබගේ මනස ක්‍රියාත්මක වන්නේ ඔබට දැනෙන ඇහෙන සහ අත්දැකීම් පාදකකොටගෙන බැවිනි.
මනසේ ඇතිවන සිතුවිලි ධාරාවන් පුද්ගලයාව නිර්මාණය කරනු ලබයි.
කේතකීගේ මිත්තනිය විසින් ඇයගේ සිතට එක්කොට තිබූ මෙම සෘණාත්මක අදහස ඇගේ සිතේ දිගින් දිගටම ක්‍රියාත්මක වූවානම් ඇගේ අධ්‍යාපනික ජීවිතය කඩාකප්පල් වීමට හේතු සාධකයක් වීමට තිබුණි.
එහෙත් ඇගේ දෙමව්පියන් බුද්ධිමත්ව මනෝවිද්‍යා උපදේශනය සඳහා දරුවා නිසි අවස්ථාවේ යොමු කිරීම නිසා ඇයට ඉතාමත්ම සාර්ථක අධ්‍යාපනික ජීවිතයක් උදාකර ගැනීමට අවස්ථාව ලැබුණි.
-රත්නා පුෂ්ප කුමාරි-