අපිට සුදු වීමේ ආශාව බෝ කරන්නෙ ළමා කාලයෙදිම කීවොත් වරදක් නෑ. සුදු පුතා , සුදු දුව, සුදු මැණිකෙ , සුදු මහත්තයා , සුදු නැන්ද , සුදු පුංචි, සුදු අම්ම, සුදු තාත්ති හැම නමකටම කළින් සුදු කියන විශේෂණය යොදල පාට අතර සුදු පාට කියන්නෙ මාර දෙයක් කියල හැඟීමක් ඇතිකරපු නිසාම කණ්කාඩියෙන් තමන්ට හිමි පාට අහන්න හැමෝම පුරුදු වෙලා .
සුදු අයට වඩා කළු අය ජයග්‍රාහී …
ලෝකය ජය අරන් තියෙන්නෙ ලෝකයේ ආදරයට පාත්‍රවෙලා තියෙන්නෙ සුදු අය විතරද, නැහැ මෝස්තර නිරූපිකාවන් අතර වැඩිම ජනප්‍රියතාවයක් දිනාගෙන ඇත්තෙ කළු ජාතික කාන්තාවන්. ද ඩෙසර්ට් ෆ්ලවර් එහෙමත් නැතිනම් කාන්තාරයේ කුසුම නව කතාව ඔබ කියවා ඇත්නම් , කියවන්නට සිතා සිටිනවා නම් වාරිස් නම් කාන්තාව ගැන ඔබ පුදුමයට පත්වේවි. කාන්තාවක් එච්චරම හයියද, ඔවු ඒ තරම් හයිය හිතක් පිරිමියෙකුටවත් නැහැ. සුදු පාට හමෙන් මොනවද කරන්න පුළුවන් .
කළු හම තියෙන අයට වඩා එයාලට මොනවද වැඩි…?
ඇත්තටම පිටින් ඔපේ යටින් හපේ කියල ඔබ අහල ඇති . සුදු හම ඔප වුනාට ලෝකයේ වැඩිම චර්ම පිළිකා අවධානම ඇත්තෙ සුදු හම ඇති අයට. පාරාජම්බුල කිරණවල වැඩි බලපෑමට මුහුණ දෙන්නෙත් සුදුහම තමයි වැඩිපුරම. කළුහම ස්වභාවිකව මෙලනින් වර්ණකය හරහා ආරක්ෂා වෙනවා.හැමෝම වද වෙන්නෙ කළුහම මකල සුදු වෙන්න. තමන්ට තියෙන ස්වභාවික ආරක්ෂාව නැති කරගෙන සුදු වෙන්න. හැමෝටම ඕන ග්ලූටතියොන් එන්නත් මගින් සුදු වෙන්න. ඒත් ප්ලාස්ටික් ශල්‍යකර්ම පිළිබඳ ලංකාවෙ ඉන්න සීමිත වෛද්‍ය විශේෂඥවරු අතරින් කෙනෙක් වුනු කාවින්ද රාජපක්ෂ මහත්තයා ග්ලූටතියොන් කියන්නෙ මොනවද කියල දවසක් කීවා. එය ලංකාවට ගෙන්නන්න අනුමැතිය ලද ඖෂධයක් නෙවෙයිලු .ග්ලූටතියොන් යොදාගන්නෙ පිළිකා රෝගින් සඳහා කරනු ලබන කීමෝ ප්‍රතිකාරවලදී තාවකාලිකව අව පැහැයට හැරෙන සමේ වර්ණය නැවත තිබූ වර්ණය වෙත කැඳවීමට සුළු ප්‍රමාණයකින් යොදවන සංඝටකයක් මිස රෝග සුවයට හෝ සම වර්ණ ගැන්වීමට යොදන ඖෂධයක් නොවෙයි. හැමෝටම ඕන සුදු වෙන්න.
සුදු වුනාට පස්සෙ…?
මොකද්ද එයින් ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නෙ…? ඇයි ඒපාට ඔබට ඕන. ඒ පාටින් ඔබට ලෝකය වෙනස් කරන්න පුළුවන් ද. එතකොට ඒ පාටට විරුද්ධ පාට ඇති අය ලස්සන නැද්ද, ඒ අය අතර ලෝකය වෙනස් කළ අය නැද්ද..මේක මුලාවක් වෙළඳ ප්‍රජාව ඔබේ මනසෙ දුර්වල තැනක්අල්ලගෙන එයාලගෙ නිෂ්පාදන අලෙවි කරනවා.ඔබත් ඒ ගැටයට අහුවෙලා මොනවද කියල නොදන්න රසායනික සංයෝග ඇඟට එකතු කරගන්නවා
හැබැයි ඔබ යමක් මිලට ගන්න ගිහාම එහි කල් ඉකුත්වන දිනය බලන්නෙ ඇඟට විසවෙයි බයට. නමුත් මොනවයින්ද හදල තියෙන්නෙවත් නොදන්න දෙයක් සුදු වෙනව නම් බී ලා බලන්න ඔබ බය නෑ.
සම ලස්සන වෙන්න නම් නිරෝගී වෙන්න ඕන . නිරෝගීකම ඇත්වෙන්න නම් පිරිසුදු කම පෝෂණය තියෙන්න ඕන. ස්වභාවික එළවළු , පලතුරු, පලා වර්ග වලින් සමට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. හොඳට වතුර බීවම සමේ දීප්තිය ඇතිවෙනවා. ඔය පිටිකිරි වෙනුවට ස්වභාවික දියර කිරි වර්ගයක් බොනව නම් සමේ ලස්සන කිසිම ක්‍රීම් එකක් නැතිව ලැබෙනව. ලස්සන වෙන්න මොනවද දාලා තියෙන්නෙ දන්නෙ නැති පෙට්‍රෝලියම් ජෙල් තවරන්න ඕන නෑ.
ඔබටම සාදගත හැකි ආලේපනයක්…
පැහැපත් වෙන්න සම ලස්සන කරගන්න ඕන නම් ගෙදරදිම ආලේපනයක් පැරණි සිංහල වෙදකමින් ඔබට දෙන්නම්. මෙයින් දහඩිය දුඟද පවා නසල සම සුවඳවත් කරල සම දීප්තිමත් කරනවා . හැමදාම කරන්න ඕනත් නෑ. සති දෙකකට වතාවක් දවස් හතරක් කලාම ඇති. පොතු හැර ගත්තු දෙහිගෙඩිවල මද, තුනක් , කස්තුරි කහ ග්‍රෑම් පනහක් , ඉඳුනු බෙලි ගෙඩියක මදය ඔබට අවශ්‍ය ද්‍රව්‍ය වෙනවා. ඉදුනු බෙලිමදය සමග දෙහි ගෙඩි තුන හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.ක්‍රීම් වන තුරු බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණයට කස්තුරි කහ දාන්න. හොඳින් කවලම් කරගත් විට ඉතාම ඉමිහිරි ස්වභාවික සුවඳක් එයින් හමාවි . ස්නානයට පෙර සිරුරේ හොඳින් ආලේපනය කර පැය දෙකක් තිබෙන්නට හැර ස්නානය කරන්න. මෙම ප්‍රතිකාරය දවස් හතරක් එක දිගට කරන්න. සියළුම ලප කැළැල් දුරුවී ඉතා පියකරු සමක් පැහැපත්බවක් ඔබට ලැබෙනවා. ඔබව රවටන සුදු පැහැයට ඔබට මෙයින් ලැබෙන්නෙ සමට රන්වන් පැහැයක්. මෙය සෑම සමකටම ආහාරයක්. ඒ නිසා සමට දිදුලන පැහැපත් බවක් ඇතිකරන්න පුරානයේ කාන්තාවන් අතර ප්‍රචලිතව පැවති මේ හස්තසාර ආලේපනයට පුළුවන් ඔබ සමට ගැල්වූයේ මොනවද , ඔවු ඔබට කියන්න පුළුවන් හොඳින්ම දන්නා ද්‍රව්‍ය තමයි ඒ.ඉතිං හම සුදු කරනවයි කියන එක එක නොදන්න ක්‍රීම් වලට ඇබ්බැහි වෙන්න කලින් මේ ආලේපනය ඔබම හදල ගාන්න.
-යසස්විනී ජයතිලක-