සිරුරට ගුණ දෙන රසැති කැඳ ගැන, මේ තොරතුරු දන්නවාද?

0
809

කැඳ යැයි කී විට ඔබට නිරන්තරයෙන්ම මතක් වෙනුයේ කොළ කැඳ පිළිබඳ ව නම් එහි පුදුමවෙන්නට දෙයක් නැත. නමුත් කොළ කැඳ යනු කැඳ වර්ගවල සියල්ලම නොවේ . ඒ සිරුරට ගුණ දෙන ආහාරජීර්ණයේ සහ ආමයේ පවතින ගැටළු සමනය කරන කැඳ වලට අදාල වනුයේ කොළ විතරක්ම නොවෙන බැවිණි. කැඳ යැයි කී විට කැඳ වර්ග රාශියකි. සමහර විට ඔබ කැඳ ගැන මේ තොරතුරු අසන්නේ පළමු වතාවට බව සැකයක් නැත.
අතීතයේ, කැඳ වලට තිබූ තැන නැතිකරන්නට දියත් වූ කූට වැඩපිළිවෙළ වල් නිසා කැඳ බීම ශරීරය අප්‍රාණික කරවන ක්‍රියාවක් සේ සලකන්නට හුරුවූ නමුත් යථාර්ථය නම් කැඳ යනු ශරීරයට පෝෂණය මෙන්ම ඔසු සපයන එක් ක්‍රමයකි. මොකද කැඳ බීලද , කැඳබීල වගේ පණ නැතිව ඉන්නේ , කැඳයා වගේ යැයි කියමින් කැඳ අවඥාවට ලක් කළත් ඔය කියන අප්‍රාණික බව කැඳ බොන්නෙකුට අදාල නොවේ. ඒ පිළිවෙත් තුළින් සිංහලයාට ලැබී තිබූ කාය ශක්තිය අඩාල කරවන්නට විජාතිකයන් ගෙන් දියත් වූ කූටඋපක්‍රමයකි ඒ.
අසනීප වූ විට ඇඟපතට ශක්තියක් ඇතිවන්නට ලුණු කැඳ සාදා දෙන බව ඔබ අසා ඇති. එමෙන්ම පාරම්පරික වෙදකම තුළ කැඳ පානය කරන රෝගියා එහි රස පිළිබඳ කී තොරතුර රෝග විනිශ්චයේ නිමිත්තක් සේ සලකන අවස්ථාවක් ද වේ. ඒ කෙසේද යන්න අදත් පාරම්පරික හෙළ වෙදකම සාක්ෂි දරනවා ඇත.
කිසියම් අයෙකුට කැඳ පානය කිරීමට සැලැස්වූ පසු ඒ කැඳ රස යැයි පැවසුවා නම් එය ඔහුට හෝ ඇයට දියවැඩියා රෝගය ඇති බවට නිමිත්තකැයි සැලකේ.
ඇතමෙකු මේ කැඳ කුණු රස යැයි කියන්නට ඉඩ ඇත.එහි දී පෙන්වන රෝගය නම්, ලය පීනසයි. මේ කැඳ හරිම නැවුම් රස යැයි ඇතමෙකු කියන්නට ඉඩ ඇත. නැවුම් යනු අළුත් මැටිවලන් වලට ,වතුර වැටුණු විට පැතිරෙන සුවඳ සහිත රසයයි.නැවුම් රසයක් කැඳ තුළින් දැනුනා යැයි යමෙකු කියන්නේ නම් , ඔහුට හෝ ඇයට ඇත්තේ මුත්‍රා රෝගයයි. කැඳ සෙවල රසක් දැනෙනවා යැයි පුරුෂයෙකු පවසත් නම් ඔහුගේ ධාතු සම්බන්ධ රෝගයකි. ස්ත්‍රියකට එම රසය දැනුණේ නම් ඒ ඇඟ උණුකරවා යෑමේ රෝගය පවතින බවට ඉඟියකි. තිත්ත රස යැයි පැවසී නම් , ඒ ඔහුට හෝ ඇයට තෙල් මිශ්‍ර කෑමක් විෂවීමකි.පැණි රස යැයි පැවසී නම් එම තැනැත්තාට විසක් කැවී ඇති බව හෙළිවීමකි. වෙනත් රසයක් ගැන කීවා නම් ඔහුට හෝ ඇයට තුන් දොස් කිපීමෙන් වූ තත්ත්වයකැයි වෛද්‍යවරයාට දැනගත හැකිය.

දැන් කැඳ යනු රෝග විනිශ්චයෙහිලා, ද උපකාරී වෙන මාහැඟි ද්‍රව්‍යකැයි ඔබට හැඟීයනු ඇත.

කැඳ යැයි කීවිට කැඳ වර්ගද විශාල ප්‍රමාණයකි.ඒ අතරින් කැඳවල ස්වභාවය අනුව යෙදෙන නම් කීපයක් සලකි බලමු.

විලෙව් කැඳ.

විලෙව් කැඳ යනු අමුතු කැඳ වර්ගයක් නොවේ. සාමාන්‍යයෙන් කැඳ පිසීමටගන්නා සහල් මෙන් සතර ගුණයක සහල් වලින් බත වැඩිපුර සිටින සේ උයා ගන්නා කැඳ, විලෙව් කැඳය. පානය කරන්නාට බොහෝ රසවත්ය.
මෙවැනි කැඳ කෝප්පයක් පානය කරන්නාට ආහාර රුචිය වැඩෙන අතර අක්ෂි රෝග සහ හෘද රෝග සඳහා විලෙව් කැඳ ඉතා යෝග්‍යය. කෙසඟ සිරුරක් ඇත්තේ වී නම්, මෙයින් පුෂ්ටිමත් බව ලද හැකිය. එමෙන්ම ශරීරය ශක්ති කරයි.

යවාගු කැඳ

සහල් මෙන් පස් ගුණයක් ජලය යොදා බත් ඇට නොහිටින ලෙස හැඳි ගා උකුවට ලබා ගන්නා කැඳවලට යවාගු කැඳ යැයි පැවසේ.යවාගු කැඳ බොහෝ විට රෝගී වී උණ සෑදී සහ අතීසාර තත්ත්වයකින් පෙළෙන අවස්ථාවලදී රෝගී තැනැත්තන්ට ලබා දෙන සැහැල්ලු ආහාරයකි. මේ කැඳ වර්ගය ඉතා සැහැල්ලුය. බඩ ගිණි ඇති,නොවෙන අයෙකුට බඩ ගිණි ඇති කරවන්නට ඉතාම සුදුසු කැඳ වර්ගයකි. මෙම කැඳ මුත්‍රා අමාරු සහිත අයට වඩා ගුණදායකය.

පේයා කැඳ

මෙම කැඳ වර්ගය පිසින්නේ සහල් මෙන් හතර ගුණයක් ජලය යෙදීමෙනි. සහල් පතක් යොදා ගන්නේ නම් පත හතරක් නැතිනම් සිව් පතක් ජලය යෙදිය යුතුය.
මෙසේ පිස ගත් කැඳ පානයට දීමෙන් බඩගිනි වැඩිවේ.උණ, උණ අතීසාරය, ක්ලාන්ත ගතිය, වහා සුව වේ.විළඳ හෝ සහල් මේ කැඳ වර්ගය පිසීම සඳහා යොදාගැනීම සුදුසුය.

මණ්ඩ කැඳ

මේ සඳහා ද සහල් මෙන් සතර ගුණයක් ජලය යොදා ගත යුතුය. මෙහි ඇති විශේෂත්වය නම් බත් සම්පූර්ණයෙන්ම දියවී යන සේ උයා ගැනීමය.
මේ කැඳවලින් වා පිත් සෙම් නැතිකර, ධාතු සමනය කෙරේ. පිත ආශ්‍රිත රෝග ක්ලාන්ත ගතිය නැති කෙරේ.

කහ උණ එසේත් නැතහොත් සෙංගමාලයේදී මුල් අවස්ථාවේදීම දින හතක් කැඳ ඖෂධයක් ලෙස ලබාදෙයි.හීන් බෝවිටියා, හීනටි හාල් සමග එක්කොට සෙංගමාල රෝගියාට කැඳ පිසදෙනු ඇත.නමුත් මේ කැඳ පිළියෙල කරන්නේ විශේෂ ක්‍රමයකටය මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වනුයේ දානගල, මුංඇට, රතුළුණු, කෝං කොළ ඉස්ම, ලුණු දෙහි, කිතුල් පැණි යන දේවල්ය.

මුළින්ම දානගල, මුංඇට රතුළුණු ,අත්ලෙන් එකක් සිටින සේ ගෙන දානගල සහ මුංඇට කළවමට දමා,අඹරා ගත යුතුය.ඉන් පසුව ඒ අඹරාගත් දෙයටම යොදා රතුළුණු ත් අඹරා ගැනෙයි.ඉන් පසුව කෝං කොළ ටිකක් වෙනම ගෙන කොටා වතුර දමා මිරිකා ගන්න. මේ අමුද්‍රව්‍ය වළඳක දමා හොඳින් කවලම් කර ලිප තබා ගැනීමට අවශ්‍යය.එහිදී දානගල හාල් ඇට, මුංඇට හොඳින් තැම්බෙන සේ කාල් ගාන්න. ඉන් පසුව ප්‍රමාණවත් තරමට කිතුල් පැණි එක් කරනු ලබයි . මේ පැණි එක් කිරීම නිසි ප්‍රමාණය ට විය යුතුය.එසේ නොවුනහොත් මෙහි ප්‍රතිඵල හීනවන්නට ඉඩ තිබේ.ඉන්පසුව ලුණු දමා හොඳින් කවලම් කර ලිපෙන් බාගන්න. උදේ සවස දින දෙකක් හෝ තුනක් පාවිච්චියට ගැනීමෙන් රෝගය මුළුමණින්ම සුව කර ගත හැකි වෙයි.මේ ඉතාම පැරණි පාරම්පරික වෙදකමේ වට්ටෝරුවකි.

දැන් කැඳ යනු තවදුරටත් අප්‍රාණිකබව හා අලසබව ඇතිකරන්නට මුල්වෙන පානයක් නොවන බව ඔබට වැටහෙනවා ඇත. තවත් ලිපියකින් අප ඒ ඒ කැඳවල තිබෙන රෝග සඳහා සුව සදන ගුණ සම්බන්ධයෙන් දැනුවත්වෙමු.

-යසස්විනී ජයතිලක-

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න