ලස්සන මුහුණකට ආලේපනයක් තෝරමු කීවොත් ඔබට නිතැතින්ම මතක් වෙන්නෙ දෙනෙතට ගල්වන ආලේපන බවට නම් සැකයක් නැහැ. අයි ලයිනර් හෝ කජාල් , මැස්කාරා, පමණක් නෙවෙයි ඇසි පිය මත යොදන අයි ෂැඩෝ, ආලේපන ආදී වශයෙන් ආලේපන වර්ග කීපයක් එකතු කර අපි එයට අයි මේක් අප් කියලා කියනවා ඉතිං මුහුණක ලස්සන වඩ වඩාත් කැපී පෙනෙන්නට සලස්වන මේ,ආලේපන ඇත්තටම දෑසේ ස්වභාවික ලස්සන නම් නෙවෙයි. මේක් අප් වලින් මවන ලස්සනට වඩා ඇස් දෙක ස්වභාවික ලස්සනකින් ඔප කරගන්න දැනුම ඔබ තුළ පවතිනවා නම් , ආලේපන වලින් මතුවන ලස්සනට වඩා ලස්සනක් මතු කරගන්න පුළුවන්.
ඇස නිතර වෙහෙසන්න එපා.
ජංගම දුරකථන තිරය එක්ක ඔබ නිතරම කාලය ගතකරනවා නම්,ඔබේ ඇස්වල පේශී බොහෝ විට එකම ඉරියව්වක වැඩි වේලාවක් පැවතීම නිසා ඇසට වෙහෙස දැනෙනවා. එමෙන්ම අඩ අඳුරේ පොත් පත් කියවීම, හාන්සි වී පොත් කියවීම මෙන්ම අපහසුවෙන් බැලීම නිසා ඇස් වෙහෙසට පත් වුනාම දෙනෙත මළානිකව දීප්තිය අඩු වෙනවා. ඇසේ බොර පැහැය සහ සියුම් රතු පැහැ නහර මතු වී පෙනීමට පටන් ගත් විට මොනතරම් හොඳ ආලේපන ගැල්වූවත් ඇසේ ස්වභාවික සුන්දරත්වය මතු කරගන්න අපහසුයි. අර කියන පුරුදු මග හැර ගන්න අතරම ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. යාන්තම් ශීත කරන ලද වතුරෙන් දවස අවසානයේ ඇස සෝදන්න. සියුම්ව කපා ගත් පිපිඤ්ඤා පෙති දෙකක් දෑස මත තබා හෝ අයිස් වතුරෙන් තෙමන ලද පුළුන් කැබලි දෙකක් දෑස මත තබා විනාඩි දහයකට වැඩි කාලයක් ඇසට විවේක දෙන්න.
ඇස යට සම කළු පැහැවීම බොහෝ දෙනෙකුගේ සිත කළඹන තත්ත්වය ක්. එයටද වැඩි පුරම බලපාන්නේ ඔබේ වැරදි. ඇසට යොදන මේක්අප් හරි හැටි ඉවත් නොකර නින්දට යද්දී ඇස අවට සියුම් සමට මේවා උරා ගැනෙනවා.දවසකින් දෙකකින්,නොවූවාට ටික කාලයක් දිගින් දිගටම ඇසේ ඇසි පිය අතර ඇති සමෙන්,ආලේපන නිසි පරිදි ඉවත් නොකලම සමට උරා ගන්නා ආලේපන නිසා ඇස යට සම එල්ලා වැටෙන සහ වෙහෙසකාරී මෙන්ම අවපැහැ ගත් එකක් බවට පත් වෙනවා. ඒ හේතුවට ඇස වෙහෙසට පත්කරවන්නට හේතු සපයන පෙර කී හේතුද එක්වූ විට ඇස යට සියුම් සම අව පැහැවීම නොවැළැක්විය හැකි හේතුවක්.
දිගින් දිගටම අයි මේකප් එසේ ඇසෙහි සියුම් සමට එකතු වීම සමේ කළු පැහැති ලප ආකාරයෙන්ද පෙනෙන්නට හැකි නිසා දිනපතා ඔබ ගල්වන කජාල්, අයි ලයිනර් ආදිය සහ මැස්කාරා හොඳින් සෝදා ඉවත් කරන්න. ඇස්වටා සම අර්තාපල් ඉස්ම සහ කෝමාරිකා මද යුෂ වලින් නාසය ළඟ කෙලවරින් පටන් ගෙන රවුමට ඇඟිලි තුඩු මෘදුව යවමින් සම්භාහනය කරන්න. මේවා ඇස තුළට යාමට ඉඩ නොදෙන්න.එවිට ක්‍රමයෙන් ඇස යට කළු පැහැය ඉවත් වෙයි. මුඟුණුවැන්න ගොටුකොළ ආදී කොළ කැඳ පානය කරන විට දෙනෙතෙහි නිරෝගී බව වර්ධනය වෙයි. ඇස අඳුන් ගල්වන විට ඒවා තරමක මිල අධික වුවත් පිළිගත් හොඳ නිෂ්පාදනවලින් පමණක් තෝරාගන්න. ආසාත්මික වී ඇස කැසීම නිසා ඇසි පිය ගැලවී යාමට ඉඩ ඇති බැවින් දෑසේ සුන්දරත්වය පතන ඔබ කිසිවිට බාල ආලේපන ඇස සඳහා යොදන්නට එපා.ඇසේ කළු ඉංගිරියාව ඇසේ දකුණු පසටද වම් පසටද මාරු කරමින් සහ ඉහළට පහළට යොමු කරමින් විනාඩි දහයක කාලයක් ඇසට ව්‍යායාම ලබාදීමෙන් ඇසට ස්වභාවිකව දීප්තියක් ඇතිවන බවද මතක තබා ගන්න.
-යසස්විනී ජයතිලක-