කාලෙන් කාලෙට ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුනරුප්පත්තිය පිළිබඳව විවිධ කතා කරළියට එයි. සමහර ජනප්‍රිය පුද්ගලයින් නැවත නැවත කී වතාවක් ඉපදී කියපු කතා කොයි තරම් නම් අපි අසා ඇත්ද…
විජය කුමාරතුංග මහතා, ආර්. ප්‍රේමදාස මහතා පමණක් නොව ප්‍රංශයේ දී මියගිය ඩයනා කුමරිය පවා එසැනින් මෙහි ඉපදී තිබු කතා එමටය..
පුනරුප්පත්තිය ලබා ගත් බව හෙළිදරව් කරන වාර්තා විශ්ලේෂණය කිරීමට වඩා මේ ගෝලීය වශයෙන් ව්‍යසනයට පත් වී සිටින කොරොනා සදහා ඖෂධයක් සොයා ගැනීම වැදගත් බව ඇතැමෙකුට සිතෙන්නට පුලුවන.
මෙතරම් විද්‍යාත්මකව අසරණව සිටින ලෝකයක මිය ගියායින් පසු නැවත ඉපදෙන ආකාරය පිළිබඳ සිතීම යමෙකුට විහිලුවක් ලෙසද පෙනෙන්නට පුළුවන.
මීට කලකට පෙර ඇඹිලිපිටිය ප්‍රදේශයේ අවුරුදු 16 දරුවෙක් මිය ගියේ සාමාන්‍ය පෙළ විභාගයට දින කිහිපයක් තිබියදී පාඩම් කිරීමට තම නිවසට ආ මිතුරා සමඟ ගේ පිටුපස ඇති වැවේ නාන්නට ගොස් දියේ ගිලීමෙනි
ඉන්පසුව වසර තුන හතරකට පසුව එම ප්‍රදේශයෙන් කිලෝමීටර් කීපයකට එහා නිවසක සහෝදරියන් තිදෙනෙක් ගේ බාල සහෝදරයා ලෙස ඉපදුන දරුවෙක් මේ දියේ ගිලී මියගිය දරුවා බව එළිදරව් වන කරුණු කාරණා රැසක් කියා තිබුනි.
මාධ්‍ය එය වාර්තා කිරීමට කෙතරම් උත්සාහ කළත් එම පවුල් දෙකේම දෙමව්පියන් මෙය කිසිදු කිසිදු මාධ්‍යයකට හෙළිදරවු නොකිරීමට තීරණය කළේ එම කුඩා දරුවාගේ සහෝදරියන් තිදෙනාටද ඒ ලැබෙන ප්‍රසිද්ධිය නිසාම යම් යම් කරදර වලට මුහුණ දීමට සිදුවේයැයි ඇතිවූ බිය නිසා බැව් පැවසුවෝය
කෙසේ වෙතත් එම කුඩා දරුවා තම පාසල හඳුනාගැනීම , තම පන්තිය හඳුනාගැනීම, ශිෂ්‍ය නායක ලෙස ලබා ගත් පින්තූරය හදුනාගැනීම, මිය ගිය දින අනුභව කරන ලද ආහාර පිළිබඳව කතා කිරීම පමණක් නොව තම මිතුරෙකු රැගෙන ගිය යම් වාදන භාන්ඩයක් පිළිබඳ පැවසීම ආදී තොරතුරු මෙහිදී ආන්දෝලනයට ලක් වූ සිද්ධි සමූහයකි. කෙසේ වෙතත් එම සිද්ධිය යටපත් විය. නමුත් එම මියගිය දරුවාගේ පියා පැවසූ ඉතාමත් වැදගත් ප්‍රකාශයක් මෙහි උපුටා දැක්විය යුතුයි.
ඔහු කිව්වේ මෙතරම් කරුණු අනාවරණය වුණත් මේ සිටින්නේ මගේ නැවත පුතා යැයි කරන විශ්වාසයට වඩා සමාජයට මින් පණිවිඩයක් දීමට පමණක් මාධ්‍ය හරහා නොව දන්නා අදුනන අයට මේ සිද්ධිය පැවසූ බවයි.
ඔහු තවදුරටත් කියා සිටියේ මරණයෙන් පසු අපිට කිසිවක් සිදු නොවන්නේ හෝ නැවත ඉපදීමක් ඇති නොවන බව දැන සිටිනවාට වඩා නැවත ඉපදෙන බව ප්රත්යක්ෂ වන්නේ නම් මේ ගෙවන මිනිස් ජීවිතය යහපත් ආකාරයෙන් ගෙවීමට සිතෙහි යම් කිසි අදහසක් ඇති කරවීම වඩා වැදගත් බවයි .
මේ ආත්මයෙන්ම ජීවිතය අවසන් වන්නේ නම් කෙනෙකුට බලාපොරොත්තුවක් ඉන් එහාට තබාගත නොහැකි නම් එම පුද්ගලයාට කුමන අපරාධයක් හෝ කුමන ආකාරයේ පාපකර්ම හෝ කිරිමට සිතට බාධාවක් පැමිණෙන්නේ නැත. යමෙකු ඊළඟ ආත්මය පිළිබඳ බලාපොරොත්තු තබා ගතහොත් පෙර කුසල් අකුසල් පිළිබඳව සිතා හෝ යහපත් මිනිස් ජීවිතයක් ගෙනයාමට දෙවරක් සිතන බව එම පියාගේ අදහස විය.
තම සුරතල් බලු පැටියා මිය ගිය විට වැඩිහිටියෙක් මේ බලු පැටියා ඉතාම හොඳ බවත් බුද්ධිමත් බවක් ලබන ආත්මයේ මිනිසත් බව ලබාගන්නා බවත් කී වැඩිහිටියෙක් නිසා මානසික රෝගයකට ගොදුරු වූ දරුවෙකු ඉන් සුව කරගත්තේ මාස ගණනකට පසුවය.
මේ අසා සිටි දරුවා කූඹියකු මදුරුවකු වත් මරා දැමීමට බියවිය. ඔහු නිතර නිතර පැවසුවේ මේ කූඹියා ඊළඟ ආත්මයේදී මගේ අම්මා විය හැකියි .මේ මදුරුවා ඉලග ආත්මේදි මගේ පියා විය හැකියි ලෙසයි.
මේ ආකාරයෙන් ඉතාමත්ම අසාමාන්‍ය සිතුම් පැතුම් සහ බියපත්ව සිටි එම දරුවා ඇවිදින්නට වූයේද සතෙක් පෑගී මැරෙයි යන බියෙනි. නිර්මාංශ වූ එම දරුවා මස් මාළු වෙලෙදසැලක් හෝ දුටු විට ක්ලාන්ත වන තත්වයට පවා පත් විය.
එම කම්පන ස්වභාවය ඉවත් කිරීමට හා සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට මනෝවිද්‍යා උපදේශනය මගින් හැකිවීම එම දරුවාගේ යහපතකි.
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ සමහර දේවල් පිළිබඳව උවමනාවට වඩා සිතීම තේරුම් ගැනීමට උත්සාහ කිරීම අවශ්‍ය නොවන බවයි.
මිනිස් මනසට අවබෝධ කර ගත හැකි උපරිම ප්‍රමාණයක් ඇත .
එය ලෝකයේ බුද්ධිමත්ම මිනිසා බවට නම් දරා ඇති ඇල්බට් අයින්ස්ටයින්ගේ මොලයේ තත්ත්වයට වඩා ඉතාමත් අඩු මට්ටමක පවතී.
එසේනම් පුනරුප්පත්තිය පිළිබඳ කිසිවකුට පැහැදිලි නිශ්චිත නිගමනයකට ඒමට හෝ එය සියයට සීයක් විද්‍යාත්මකව ඔප්පු කර පෙන්වීමට හැකි වී ඇද්ද යන්න ගැටලුවක්ව පවතී.
මනසින් ධාවනය කළ හැකි වාහන නිපදවෙන ලෝකයක , අභ්‍යවකාශ තරණය කරන ලෝකයක , පෘථිවිය විනාශයට පත්වන දිනෙක යා යුතු ග්‍රහලෝක සොයා ගන්නා යුගයක , හඳේ ජනාවාස පිහිටුවීමට කටයුතු කරන මොහොතක , මේ මිහිපිට කඩා වැටුණු ගුවන් යානා කීපයකට සිදුවූයේ කුමක්ද යන්න වත් සොයා ගැනීමට නොහැකිව අභිරහසක්ව පවතින මොහොතක, අපි පුනරුත්පත්තිය පිළිබඳව සුභවාදීව සිතා අපගේ ජීවිතය යහපත්ව ගෙන යාම සඳහා එය අත්වැලක් කර ගනු විනා උදේ හවස එහි පිළිබඳව සිතා පෙර හෝ පසු භවය න් පිළිබඳව සිතීම මේ මිනිස් ආත්මයේ ජීවත්වීමට බාධාවකි.
ළමයි හතළිහක් සිටින පන්තියක යම් ගුරුවරයෙක් ගණිත පාඩමක් උගන්වන්නේ නම් එම ගණිත ගැටලුව අඩක් තේරුම් කර දීමේ දී පවා තේරුම් ගන්නා දරුවන් එම පන්තියේ සිටිය හැකිය .එසේම කොපමණ වාර ගණනක් පැහැදිලි කළ ද එම ගණිත ගැටලුව අවබෝධ කර ගැනීමට නොහැකි වන දරුවන්ද එමට සිටි .
එසේම සමහර අය අසීමිත හැකියාවන් පෙන්වති .
මවගේ කුසේ දී දරුවා ගේ සහජ මොලය නිර්මාණය වන බව විද්‍යාත්මක මතයයි.
මේ සඳහා මවගේ මනෝභාවයන් සෘජු ලෙස බලපාන බව විද්‍යාත්මකව සනාථ කර ඇති නිසා බොහෝ මව්වරුන් ගර්භණී සමයේ යහපත් මානසිකත්වයකින් සිටීම පිණිස මහඟු වෑයමක් දරති .
එසේම සමහර දරුවන් ඉපදී ඉක්මනින් ක්‍රියාකාරකම් කිරීම, ඉක්මනින් කතා කිරීම, ඉක්මනින් නිර්මාණශීලී දේ කීම කිරීම සාමාන්‍ය දෙයකි. එය පුදුම නොව තම හැකියා ඉස්මතු වීමකි.
එක්තරා මවක් තම ගර්භණී සමයේ ප්‍රිය කරන ලද රූපවාහිනී වැඩසටහනක් වුයේ සුපිරි තරු තරගයකි .එය කෙතරම්ද කිවහොත් තම කුසේ සිටින දරුවා කෙදිනක හෝ මෙවැනි සුපිරි තරුවක් වන්නේ නම් කෙතරම් වාසනාවන්තදැයි ඇය නිතර සිතන්නට පටන් ගත්තේය .
දරුවා ඉපදුණු පසු ඇය ගායනය කෙරෙහි තම දරුවාව යොමු කිරීම මෙම යටි සිතේ තිබූ අදහස අනුවම සිදුවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස එක්තරා ළමා සුපිරි තරු වැඩසටහනක දී සුපිරි තරුවක් වූ තම දරුවා හමුවේ මේ මව හඬා වැටෙමින් මෙම සිද්ධිය අනාවරණය කළ බව බොහෝ ප්‍රේක්ෂකයන්ට මතක තිබෙන්නට පුළුවන .
මවගේ මානසිකත්වය, මවගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමේ යටි සිතේ තිබූ ආශාව හා පාරිසරික වශයෙන් ඒ සඳහා යොමු කිරීම තුල මෙම ශක්‍යතාව ඇතිවී තිබුණි.
අවට පරිසරය තුළින් උකහා ගන්නා දැනුම හා තම සහජ මොළය සහයෝගය දෙන හැකියාවන් දරුවෙක්ගේ අසාමාන්‍ය සාර්ථකත්වයට බලපෑම් කිරීම සිදු විය හැකි දෙයකි.
මේ සියලු දෙය එකතු වූ කල පිරිපුන් මනසකින් යුත් දරුවකු නිර්මාණය වනු ඇත .
එසේම දරුවෙකුට බහතෝරන වියේ දී අසන්නට ලැබෙන දේ එම දරුවාගේ මනස තුළ ප්‍රතිනිර්මාණය වී වචන බවට පත්කරන බවද අප තේරුම් ගත යුතුය.
සුප්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් මහතාගේ අවමඟුලට සහභාගි වූ එක්තරා පියෙක් ඒ පිළිබඳව තොරතුරු නිතර නිතර තමාගේ කුඩා දරුවා ඉදිරිපිට අනෙකුත් මිතුරන් සමග කතා බස් කිරීම සිදුවී තිබිණි .
ඉන් අනතුරුව මේ දරුවා පවසන ලද්දේ තමන් නැවත ඉපදුනු ආතර් සී.ක්ලාක් බවය. දරුවා නිතර ක්ලාක් මහතාගේ විෂයපථයට අදාළ දේ කියවන්නට සොයන්නට පටන් ගෙන තිබුනි. ඒ අනුව විවිධ කරුනු කියන්නටද විය. එපමණක් නොව එම පියාද තවමත් එය විශ්වාස කරයි.
කෙසේ වෙතත් පුනුරුප්පත්තිය සැබෑවක් ද නොවේ ද යන්න නොව එය මේ ගෙවන මිනිස් ආත්මයට සෘණාත්මක බලපෑමක් නොවී ධනාත්මක බලපෑමක් වන්නේ නම් එය අපට සැනසීමකි….
රත්නා පුෂ්ප කුමාරි
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා