සංජීවනී වීරසිංහ කියන්නෙ චන්ද්‍රා ද සිල්වා වීරසිංහ සහ වෝල්ටර් වීරසිංහ දෙපලගෙ බාලම දුව. පවුලේ බඩ පිස්සීව උපන් ඒ පුංචි දුව කවදා හෝ සංගීත ලෝකයේ තරුවක් වෙයි කියා සිතූ නිසාදෝ ඇයට නම තැබුණෙත් සංජීවනී ලෙසයි .
චන්ද්‍රා,වාගේ මෙ රෑ නීලඹරේහි , හිනැහේවී පොඩි දුවනී ,සංජීවනී යැයි ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ විසින් ගීතයක්ද ගායනා කළා.
ආන්න ඒ පොඩි දුවනිය පසු කළෙක ගී අඹරේ දක්ෂතම යොවුන් ගායිකාවක් බවට පත්වෙනවා.
මතකද සමන් ද සිල්වා සමග ඈ ගයන අපේ දිහා නෑ ,අපේ දිහා නෑ ගෑණු ළමයි නෑ දීග යන්නම් ගීතය සහ ඔබෙ හදවත තුළ තෙරපී තිබෙන ආශා සිතුවිලී යන ජිප්සීස් කණ්ඩායමේ පියල් පෙරේරා සමග ඇය ගයන ගීතය.මේ හැම ගීතයකම පද මාලාවල් ඇයගෙ ජනප්‍රියත්වයට ගෙන ආවෙ කදිම සහයක්.
නැගණියක් සහ අයියා කෙනෙක් ගයන ගී සංගීත ලෝකයේ කෙතෙක් පැවතියත් සංජීවනී සහ පියල්ගේ ගීතය අදටත් ජනප්‍රිය ආදර්ශවත් ගීතයක් .
ඉස්සර මම සංදර්ශන වේදිකාවෙ ගීත ගයන්න යද්දි ඇඳුම පවා තෝරා දෙන්නෙ අම්මා. සමහර සංදර්ශන තියෙන්නෙ ගම්බද පළාත්වල. ඉතිං එහෙම පළාතකට යද්දි අම්මා මාව අන්දවලා යවන්නෙ ඔසරියකින්.කොළඹ පැත්තෙ තියෙන සංදර්ශනයක් වුණත් අම්මා මට ඇඳුම් තෝරලා දුන්නෙ ඇඟපත වැහෙන්න සංවරශීලීව. අම්මාගෙ ඒ උපාය නිසා මට යන යන හැම තැනකම හැමෝගෙම පිළිගැනීම ආදරය ලැබුණා.
කටකතාවලින් මට කිසිම පීඩනයක් එල්ල නොවෙන්න අම්මගෙ මැදිහත්වීම මට ගොඩාක් උපකාර වුනා.
ඉතිං රසිකයෙක් එක්ක පිංතූරයක් ගනිද්දි වුනත් අම්මා හරියට ඒ ගැන සැළකිලිමත් වුනා. ඒවා පස්සෙ කාලයක කිසිවෙකු මට මඩ ගැහීමට පාවිච්චි කරයි කියල අම්මා හිතූ නිසා ඇය මාව ප්‍රවේශම් කලේ මලක් වගේ…සංජීවනී ගයන ගීත ගැන හැමවිටම අම්මාගේ ගුරුහරුකම් ලැබුණත් ලියන කවි වල මුල්ම රසිකයා වුණේ ඇගේ පියාලු..
මම ලියන කවි තාත්තා කියවනවා. ගොඩාක් අගයකරනවා. තව තව කවි ලියන්න මට ධෛර්යය දෙනවා. සමහර කවි හරිම කැතයි. ඒත් තාත්තා කියන්නෙ ඒවා හරිම ලස්සනයි කියලා. ඒ අගය කිරීම් දවසින් දවස මගේ ලියවිලි නිදොස් කළා.
ඒ කාලෙ ඉතිං දවසට තැන් හය හතක සංගීත සංදර්ශන , මේවාවල ගීත ගයන්න ඒ දිනවල අනිවාර්යෙන්ම මට ආරාධනා ලැබෙනවා. ලතා වල්පොළ , සුජාතා අත්තනායක වගේ මහා යෝධ චරිත අතර කුරුමිට්ටියක් වුන මට ඒ වේදිකාවලම ඔවුන් සිටියදීම ගී ගයන්න ලැබිල තියෙනවා.
ඉතිං ඒ දිනවල පුංචි මට ඒක හරිම ලොකු සතුටක්.
සංජීවනී විවාහවෙන්නෙ කලාවට සම්බන්ධ කෙනෙක් එක්ක නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තරුණයෙක් සමගයි.කිසිම කටකතාවක් හදානොගෙන ලස්සන ජීවිතයක් ගත කළ සංජීවනීට ඔහු හමුවෙන්නෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනු ඇගේම අයියගේ යහළුවෙකු ලෙසයි. හරියටම අර සංජීවනී ගැයූ ගීතය වගේම ඇය කියූ වචන පෙළ වගේම ,මා හද දිනු මගෙ ආදරවන්තයා කෙනෙක්ය ඔබ දන්න කියල අයියටම කියන්න සංජීවනීට හැකිවෙන්නෙ එහෙමයි. අද ඇයට දුවෙක් සහ පුතෙක් ඉන්නවා විදේශගතව වෛද්‍යවිද්‍යාල වල ඉගෙනුම ලබන. ඇය ගායිකාවක් විතරක්ම නෙවෙයි, වරෙක නිළියක්, තවත් වරෙක ඇය නිවේදිකාවක්. විටෙක ඇය දේශිකාවක්. මේ හැම කාරියකදීම ඇයට එකසේ දස්කම් දක්වන්නට හැකිවීම තමයි විශේෂය.
අද ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක්. ඇතුළු තවත් තනතුරු රැසක්ම හොබවන දක්ෂ කාන්තාවක්. නමුත් ඒ කිසිම රාජකාරියක් නිසා ඇය ,ඇය තුළ සිටින ගායිකාවට හානියක් වෙන්න ඉඩ තියල නෑ. සිය සැමියා සුසන්ත සමග ජීවිතයේ ඉතාමත් සැනසුම් සහගත ජීවිතයක් ගත කරන
ඇය මෙහෙම කීවා .
” කාන්තාවකගෙ දෙවැනි ඉපදීම තමයි ඇගේ විවාහය. ඇත්තෙන්ම තමන්ව අවබෝධකරගත හැකි හොඳ සහකරුවෙක් සහකාරියක් ලැබෙන්නේ ගැහැණියකගේ, හෝ පිරිමියෙකුගේ වාසනාවට, පිනට. මට ඒ වාසනාව පින උපරිමයෙන් තියෙනවා. මගේ මහත්තයා හැමවිටම මට අත්වැලක්. ඒ ආදරය කරුණාව සහයෝගය මට ජීවිතේ ලොකුම වාසනාවක්. මම ප්‍රාර්ථනා කරනවා හැම කාන්තාවකටම මට මගේ සැමියා වැනි ගුණයහපත්, ආදරණීය, බුද්ධිමත් ස්වාමියෙක් ලැබෙන්න කියලා ..
ඇගේ පැතුම හැම කාන්තාවකටම තම පවුල් ජීවිතය නිදහසේ ආදරයෙන් සැනසීමෙන් ගෙවන්න ලැබේවා කියලයි. කවදත් ආදරණීය හිතක්හිමි ඇය හැමෝටම සෙත්වේවා, වේ සුභ යැයි කියන්නට අමතක කලේ නෑ.
යසස්විනී ජයතිලක