ඔබේ හදවතේ කැඩපත මුහුණු පොතයි.

0
232

මුහුණු පොත නොහොත් Facebook යනු තවත් එක් සමාජ මාධ්‍යයකි. නමුත් වෙනත් සමාජ මාධ්‍ය වලට සාපේක්ෂව ලෝකයේ බොහෝ පිරිසක් මේ වන විට ෆේස්බුක් භාවිතා කරයි. අද වන විට ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් සොයා ගන්නට බැරි තරම්ය. ඉතා අතළොස්සකට ඇරෙන්නට බාල, මහලු, තරුණ, වැඩිහිටි යන අන් සියලු දෙනාටම වාගේ මුහුණු පොතේ ගිණුමක් තිබේ. මේ තුළ තමන්ගේ පෞද්ගලික විස්තර, රැකීරක්ෂාවේ විස්තර, පවුලේ විස්තර, මිතුරන්ගේ සහ නෑදෑයන්ගේ විස්තර යනාදී විවිධාකාර කරුණු කාරණා, තොරතුරු මිනිසුන් විසින් පළ කරනු ලබයි.

ඒ නිසාම තමයි ඔබේ මුහුණු පොත ඔබේ හදවතේ කැඩපත ලෙස හඳුන්වන්නේ. ඔබේ සිතුම් පැතුම් ඔබ මොනවගේ කෙනෙක් ද යනාදී කරුණු කාරණා ඔබේ facebook ගිණුම තුලින් අන් අයට බලාගන්නට පුළුවන්. ඔබගේ මනෝභාවයන් වගේම ඔබේ චරිතාපදානය තමයි මුහුණු පොතෙන් කියවෙන්නේ. එම නිසා මුහුණු පොත තුළ යම් කරුණක් විස්තරයක් පිළිබදව පෝස්ට් එකක් පළ කිරීමට share කිරීමට ප්‍රථමයෙන් ඔබ ඒ පිළිබඳව හොඳින් සිතා බැලිය යුතුයි.

අතිශය පෞද්ගලික දේවල් මුහුණු පොතේ පළ කිරීම සුදුසු නොවේ. අන් අයට දැනුමක් ලැබෙන හෝ ඔබට යහපතක් වන වැදගත් වන වටිනා අදහස් post තමයි ඔබ ඔබගේ ෆේස්බුක් ගිණුම තුළ පළ කළ යුත්තේ සහ share කළ යුත්තේ.

සමහරු අනුන්ගේ කුණු සෙවීමටත් මෙම මුහුණු පොත යොදාගනී. සාමාන්‍යයෙන් අලුතින් ෆේස්බුක් මිතුරෙකු තමන්ගේ ගිණුමට එකතු කරගන්නට කලින් ඕනෑම කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ ප්‍රොෆයිල් එකට ගොස් මීට පෙර පළ කර ඇති post සහ share කර ඇති post තුළින් ඔහු හෝ ඇය පිළිබඳව යම් මිනුමක් ලබා ගනී. ඒ වගේම තමයි තමන්ටත් වෙනත් කෙනෙකුගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආ විට ඔහු හෝ ඇය තමන්ගේ ගිණුමට ඇඩ් කර ගැනීමට ප්‍රථම ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමට ගොස් මීට පෙර පළ කර ඇති සහ share කර ඇති පෝස්ට් පිළිබඳව සොයා බලා ඒ පුද්ගලයා පිළිබඳව යම් තක්සේරුවක් ලබාගනී.

ඇතැම් අය අනුන්ට මඩ ගසන්නට, අපහාස කරන්නට, අනුන්ගේ චරිතය ඝාතනය කරන්නටත් ෆේස්බුක් ගිණුම් භාවිතා කරයි. ගස්/ මල්/ තරු/ සත්තු /කාටූන් චරිත යනාදී විවිධාකාර පින්තූර ප්‍රොෆයිල් එකට දමා වැරදි අසත්‍ය නමකින් නිර්නාමිකව ෆේස්බුක් ගිණුමක් සාදා එවැනි ක්‍රියා කරන්නන් කවුරුන් වුව ද එය අනුමත කළ නොහැකිය. තවත් සමහරු සත්‍ය කරුණු වගේම අසත්‍ය බොරු කරුණුද මුහුණු පොත තුල පල කරනු දක්නට ලැබේ. ඒ නිසා මුහුණු පොතේ සඳහන් වන පලවන සෑම කරුණක්ම පෝස්ට් එකක්ම විශ්වාස කිරීමට පිළිගැනීමට නොහැකිය.

ෆේස්බුක් එකෙන් හමුවන කෙදිනක හෝ දැක නොමැති නොදන්නා නොහඳුනන පුද්ගලයන්, මිතුරන් ලෙස තමන්ගේ ගිණුමට එක්කරගැනීම නිසා තමන්ගේ ජීවිත විනාශ කරගන්නා පිරිසක් ද සිටී. ෆේස්බුක් ගිණුම් නිසා වංචාකාරී බොරුකාරයන්ට හසු වන පිරිස් ද නැතුවාම නොවේ.

ඕනෙම දෙයක හොද සහ නරක ලෙස දෙපැත්තක් තිබෙන්නා සේ මුහුණු පොත හොද දේ සදහා භාවිතා කරන බහුතරයක් ද සමාජයේ සිටී. වැදගත් වටිනා කරුණු පිළිබදව අන් අය දැනුවත් කරන්නට, විවිධ භාණ්ඩ විකිණීමට යනාදී මිනිස් අවශ්‍යතා සහ උවමනා වෙනුවෙන් Facebook භාවිතා කරන පිරිසක් ද සිටී. තමන්ගේ පාසලේ කාලයේ මිතුරන්, විදේශ ගත මිතුරන් සමග පවා වුවද තොරතුරු හුවමාරු කර ගන්නට සන්නිවේදන මාධ්‍යයක් ලෙස මුහුණු පොත භාවිතා කරන පිරිස් සිටී.

මෙම කරුණු කාරණා කෙසේ වුවද පොදු සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමේදී සෑම විටම සත්‍ය, සුදුසු, නිවැරදි සහ උචිත දේවල් පමණක් ඒවා තුළ පළකිරීමට share කිරීමට අපි කාට කාටත් යුතුකමක් සහ වගකීමක් තිබෙනවා

ඒ වගේම තමයි තමන්ගෙ සටහනක් ලිපියක් තුලින් අන් අයට හානියක් නොවන්නටත් අපි වග බලා ගත යුතුය. ඒ සඳහා අපි හැමෝටම පොදු සමාජ වගකීමක් පවතී. ඒ බව මතකයේ තබාගෙන සෑම විටම අපි ෆේස්බුක් තුළ වගේම අනෙකුත් සමාජ මාධ්‍ය තුළද සැරිසැරිය යුතුය.

-ටෙක්ලා දිල්රුක්ෂි-

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න