01. ගාලු කොටුව
ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය ලන්දේසීන් විසින් 17 වන සියවසේදී නවීකරණය කරන ලද අතර මේ වන විට එය ඉතා දුර අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු 9 භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යයි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේය. ගාලු කොටුව පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එමෙන්ම එය ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිද්සුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙසද මෙය හදුන්වයි.ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයක් වේ.
02. හික්කඩුව වෙරළ තීරය
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර ඉසව්වකි හික්කඩුව. එය දකුණු පළාතට අයත් වන අතර, ගාලු නගරයේ සිට වයඹ දිශාවට කිලෝ මීටර 20ක් පමණ දුරින් කොළඹ සිට ගාල්ලට පැමිණෙන ගාලු පාරේ ගාල්ලට සමීපයේ පිහිටා ඇත. හික්කඩුව මෙරට මූලික සංචාරක පුරවරයක් වන අතර, එහි දියමත ලිස්සා යෑමට , කිමිදීමට මෙන්ම හිරු රැස් විඳීමටද පහසුකම් ඇත.
හික්කෆුව මුහුදු සීමාවේ කි.මී.24 ක් පමණ වු දුරක් පුරා පැතිරුණ වෙරළ තිරයට සුවිශේෂි බවක් ඵක් කරන්නේ අක්කර 251ක් පුරා මුහුදු පතුලේ පැතිරී ඇති ස්වාභාවික ගල් මල් උයනයි. වෙරළ සීමාවට ආසන්න මුහුදු පත්ලේ පිහිටි බැවින් මෙය සංචාරක අවධානයට නිරන්තරයෙන් ලක් වූවකි. නමුත් මෙය මේ වන විට විනාශ වීමේ අවධානමට ලක්වෙමි්න් පවතී.
03. සීනිගම දේවාලය
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි සීනිගම දේවාලය (ශ්‍රී දෙවොල් දේවාලය) මෙරට ඓතිහාසික වැදගත්කමකින් යුතු දේවාලයක් ලෙස හැඳින්වේ. කොළඹ-මාතර මහා මාර්ගයේ හික්කඩුවට ආසන්න, මුහුදු වෙරලේ සිට කුඩා දුරකින් පිහිටි දූපතක මෙම දේවාලය ඉදිකොට තිබේ.
ධීවරයින් හා ඔවුන්ගේ බෝට්ටු ආදිය රැකදෙන්නේ යැයි විශ්වාසයේ පවතින, දෙවොල් දෙවි වෙනුවෙන් මෙම දේවාලය ඉදිකාට ඇත.
දේශිය මෙන්ම විදේශිය සංචාරක අවධානයට ද ලක් වු ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානයක් ලෙස සීනිගම දේවාලය හැදින්විය හැක. ගොඩබිම දේවාලය මෙන්ම ගිඩබිමට ආසන්න මුහුදේ පිහිටි දුපතක පිහිටා ඇති සීනිගම දේවාලය දේවපතිරාජ නම් කෝට්ටේ යුගයේ විසු අමාත්‍යවරයකු විසින් කරවන ලද්දකි.
04. තොටගමුව රජ මහා විහාරය
සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තෙල්වත්තේ තොටගමු රජමහා විහාරය හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් ව්ද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි. වංශ කතාවලට අනුව ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරුව පිහිට වු පළමු වන විජයබාහු ( ක්‍රි.ව.1070 – 1110 ) රජුගේ කාලය දක්වා තෙල්වත්ත විහාරයේ පුරාණය දිවෙන බව අදහස් කෙරේ.
හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වඩාත් ප්‍රචලිත ආගමික සිද්ධස්ථානයක් ලෙස තොටුගමුව රජමහ විහාරය හැදින්විය හැක. ඵෙතිහාසික වැදගත්කමක් හිමි මෙම විහාරයේ ඇති දඹරන් ධාතු කරඩුව, රාජාධි රජසිංහ රජුගේ මංගල හස්තියගේ ඇත්දළ යුගල, ක්‍රි.ව.6වන සියවසට හා මහනුවර යුගයට අයත් බිතු සිතුවම් එයට පෞරාණික බවක් ගෙන දීමට හේතු සාධක වී ඇත.
05. රූමස්සල (jungle beach)
රූමස්සල කන්ද නමින් හැඳින්වෙන්නේ ගාල්ල නගරයට නුදුරින් ගාල්ල මාතර මහාමාර්ගය පදනම් කරගෙන කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි කඳු පර්වත සහිත වනාන්තර භූමියකි. සුවිශාල තැනිතලා බිමකට නෑකම් කියන ගාලු දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයට ආසන්නව මෙවන් කඳු වැටියක් පිහිටා තිබීම ඇදහිය නොහැකි කරුණක් බවයි ඇතැමුන් පවසන්නේ. කොටින්ම කිවහොත් රූමස්සල කන්ද එම ස්ථානයට ආගන්තුක කන්දකි.
“රූමස්සල” නමැති නාමය රූ-මස්-සල නමැති වචන තුනට කඩකොට විග්‍රහ කළ හැකි යයි ද අරුත් වශයෙන් එය “ලස්සන කන්ද” නමින් ව්‍යවහාර කළ හැකි යයි ද රූමස්සල “බොනවිස්ටා” යන නමින් ද හැඳින්වෙන අතර එහි අරුත නම් “ලස්සන භූමි භාගය” යන්න බව ද ඇතැමුන්ගේ මතයයි.
දිගටිව සහ සිහින්ව පිහිටි මෙම අසිරිමත් කුඩා කඳු වැටියේ පුරාම ඉතාම දුර්ලභ ගණයේ ඖෂධ වර්ග බොහොමයක්ම පවතින බව කියනු ලැබේ. මෙහි ඇති ඖෂධ වර්ග ගණන 150 ද ඉක්මවන බව විද්වත්හු පවසති. රූමස්සල කඳු වැටිය සම්බන්ධයෙන් ගෙතී ඇති ජනප්‍රවාද සංඛ්‍යාව ද සුළුපටු නොවේ. මෙම කඳු මුදුනේ පලතුරු ගස් ඇති අතර ඒවායේ ඉදුණු පලතුරු පවතී. විටෙක රූමස්සල කඳු වැටිය තරණය කරන්නෝ එහි අතරමං වෙති. එවිට එහි පවතින පලතුරු කෑවොත් ඔවුන්ට ඉදිරියට ගමන් කිරීමට ඇති මාර්ගය පෑදෙන බවත් යළිත් මංමුලා නොවන බවත් කියනු ලැබේ.
එමෙන්ම jungle beach ලෙස හදුන්වන අලංකාර මුහුදු තීරයකින් ද මෙම රූමස්සල කදු වැටිය තවත් සුන්දර කරනු ලැබේ..
06. මාදු ගඟ
මාදු ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියක් සහිත ගංගාවකි.
මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත්වයි. මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ග වන්නේ බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළයි.
ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ. දුපත් හැටහතරකින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ දූපත් හැට හතරක් ඇති බවයි පැවසෙන්නේ. ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙම දූපත් 64ම දැනට දැකිය නොහැකි වේ.. මෙහි දැකිය හැකි දූපත් අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය. එම දුපත හැදින්වෙන්නේ මාදුව යනුවෙනි. මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ.
එමෙන්ම ඉතාමත් ඉපැරණි කොත්දූව විහාරස්තානය පිහිටා ඇත්තේද මාදු ගගේ දූපතක් තුලයි..
-තාරකා මැදදුවගේ-