සංතුෂ් ගේ කතාවේ හරය… ලොකුවට හිතන්න…

0
148

පසුගියදා රූපවාහිනී වැඩසටහනකට පැමිණි ප්‍රකට සංගීතඥ සන්තුෂ් මහතා ඉතා වැදගත් හා ආදර්ශවත් ප්‍රකාශයක් කර තිබුනා .

ඔහු කුඩා කාලයේ ආච්චිගේ නිවසට ගිය විට ආච්චිගේ නිවසේ අලුතෙන් කරන ලද පින්තාරුවට උඩින් ඔහු ලොකු චිත්‍රයක් ඇන්දත් සියලු දෙනා ඊට දොස් කිව්වත් ඔහුගේ මව ඊට දොස් පවරන්නේ නැතිව

” පුතා ගාව තියෙන චිත්‍ර පොතේ එය ඇන්දේ නැත්තේ ඇයි ” කියා පමණක් විමසා තිබුනා. එසේම ආපසු නිවසට ආ විට මුළු බිත්තියේ ම ඩිමයි කොල අලවා ලොකු චිත්‍රයක් අඳින්නටද අවස්ථාව දී තිබුණා.

මෙම සිද්ධියෙන් පැහැදිලි වන ගම්‍ය වන ආදර්ශයට ගත යුතු සිද්ධාන්ත කිහිපයක් තියෙනවා.

1) කුඩා සන්තුෂ්ගේ මානසිකත්වය මුදාහරින්නට පාවිච්චි කළ ක්‍රියාකාරකම්…. ඔහු පුංචි කාලෙදිම තමන්ගේ ජීවිතය දිහාව සිල්ලරට නොව සුවිශේෂීව එසේත් නැත්නම් ලොකුවට සිතන්නට ගන්න නිරායාස උත්සාහය එහිදී සුවිශේෂීයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්තරම් ලෙස වැඩ කරන දක්ෂයෙක් බිහි වුනා.

2) ඒ වගේම මවක් තමන්ගේ දරුවාගේ සිතැඟි තේරුම් ගෙන ඒ දරුවාට ජීවිතය පිළිබඳ ලොකුවට හිතන්න ලබාදුන් අවස්ථාව…

සමහර දෙමාපියන් මෙවන් විටෙක අන් අය ඉදිරියේම දරුවාට පහරදෙන අවස්ථා ඕනෑ තරම්….
අපේ දෙමව්පියන්ට මෙයින් ලබාගත හැකි පරමාදර්ශයක් තියෙනවා.. බොහෝවිට දරුවෙකු යමක් කිරීමට උත්සාහ කරන විට
” එපා එපා මොකද කරන්නේ …එපා කිව්වා නේද …. ඔහොම කලොත් මෙහෙම වෙයි ….”
මේ ආදි වශයෙන් කියමින් කොයි තරම් දරුවන්ගේ සිත රිදවීමට හා පාලනය කිරීමට උත්සාහ කරන දෙමව්පියන් සිටිනවාද….?

සෑම දරුවෙකුගේම සිතේ මෙවන් ලොකු චිත්‍ර එහෙම නැත්නම් ලොකු සිහින නිර්මාණය වෙනවා….

හැබැයි කොතනකදී හෝ එම ලොකු සිතුවිල්ල මර්දනය වී පාලනය වී පසුගාමි වන්නට ඒ දරුවාට සිද්ධ වෙනවා..

මෑතකදී මා හමුවීමට අවුරුදු 25 ක පමණ තරුණයෙක් ආවා ..
ඔහුට අවශ්‍ය වෙලා තිබුණා ඔහුගේ සහජ මොළයේ මානසිකත්වය පිළිබඳව සහ බහුවිධ බුද්ධි පරීක්ෂණය පිළිබඳව වාර්තාවක් මා හරහා ලබාගැනීමට…

මේ වාර්තාව ලැබුණු දින ඔහු ආවේ ඔහුගේ මව සමග …..
ඒ වාර්තාව දෙස බැලූ විට එහි සුවිශේෂී බවක් මා දුටුවා….

එහි තිබු සුවිශේෂත්වය නිසාම මා ඇහුවා..
” ඔබගේ ආගම කුමක්ද කියා..” මම ඇහුවා.
ඔහු කීවා ඔහු කතෝලිකයකු බව..
” ඔබ පූජකවරයෙක් වෙන්නට සිතුවා ද ” මගේ ප්‍රශ්නය හමුවේ ඔහුගේ මව විමතියට පත්ව පෙරළා මගෙන් විමසා සිටියේ ” ඔබතුමිය සාස්තර කියනවද .” කියායි.
මා කීවා මේ වාර්තාවේ තිබෙන ඔබේ පුතාගේ මානසිකත්වයේ රටාව අනුව එවැනි දෙයක් මට සිතුනු බව.

එවිට මේ මව පෙරළා පැවසුවේ …”
මේ අපිට සිටින එකම දරුවා …මේ දරුවා කුඩා කාලයේ සිටම පූජකවරයෙක් වීමේ පුදුම ආසාවකින් හිටියේ… හැබැයි අපට සිටින්නේ එක දරුවෙක් නිසා මගේ සැමියා ඒ පිළිබඳව එපමනක් කැමැත්තක් දැක්වූවේ නෑ… අවාසනාවට මීට වසර දෙකකට කලින් සැමියා මිය ගියා ..ඉන් අනතුරුව මගේ පුතාට මා තනිකර දමා පූජකවරයෙක් වීම සඳහා යාමට හිත දුන්නේ නෑ …ඒ නිසා ඒ ආසාව යටපත් කරගනිමින් වෙනත් රැකියාවකට ගියා ..මා කීවා මේ වාර්තාවට අනුව ඔබේ පුතා පූජකවරයෙකු වූවා නම් එම ආගමික තනතුරු ධූරාවලිය අනුව ඉහලම තැනකට යන්නට තරම් දැක්මක්, ලොකුවට සිතන්න පුළුවන් කමක් , ඒ කරා ළඟා වීමේ හැකියාවක් ඇති මානසිකත්වයක් තිබෙන බව මට පැහැදිලියි ..

මා තරුණයාගෙන් විමසුවා ” ඔබ කුමන ක්ෂේත්‍රයක ද රැකියාව කරන්නේ කියා…” ඔහු කිව්වා ඔහු දැනට කටයුතු කරන්නේ අලෙවිකරණ ක්ශේත්‍රයේ කියා …
මා කීවා ඔබ එම ක්ශේත්‍රයේ සුවිශේෂී තැනකට එසේ නැත්නම් උපරිම තැනකට ඒ වගේම ඒ තුළ වැජඹෙන කෙනෙක් බවට පත්වීමට තරම් ඔබේ මානසිකත්වය තුළ ශක්තියක් තිබෙන බව . එම තරුණයා මා හට ඊළගට පැවසුවේ අදහාගත නොහැකි දෙයක් ….

ඔහු කීවා ” ඔබතුමිය මේ කියන දේ මට පැහැදිලියි. සැබැවින්ම මා මානසිකව සිටින්නේ එවන් සුවිශේෂී අරමුණු දැවැන්ත සිහින සමග… කොටින්ම මා දැනට කරන රැකියාවේ සම්මුඛ පරීක්ෂණයට ගිය දවසේ මා ටික වේලාවක් අසුන් ගෙන සිටියා ..

එවිට අන් අයට වගේ මගේ අරමුණ වුණේ මේ රැකියාව ලබාගැනීමම නෙවෙයි ..මගේ යටි සිත මගෙන් විමසුවා… මම කවද්ද මේ ආයතනය අයිති කර ගන්නේ .
කියා….

මට වෙලාවකට හිතෙනවා එය මගේ මානසික තත්ත්වයේ විපරිත බවක්ද කියා… හැබැයි සැමවිටම මගේ මානසිකත්වය අන් අයට වඩා වෙනස් ලොකු තැනක තිබුණ බව මට පැහැදිලියි.
අද මට හොඳ මානසික නිදහසක් ලැබුණා ..මගේ මානසික ශක්තිය මත මම් ප්‍රාර්ථනා කරන මගේ සිහින සැබෑ කරගන්නට මට ශක්තිමත්ව යා හැකි බව වැටහුණා ..
..” ලොකුවට හිතන්න….” එසේත් නැත්නම් ” Think Big ” කියන්නේ ලොකු සංකල්පයක් …
හද අල්ලන්න හිතන්නලු එවිට ඔබට තරුවක් වන්නට පුළුවන්ලු….
මේ කතාව ඔබට විශේෂයෙන්ම ඔබේ දරුවන්ගේ සිතැඟි නිසි විදියට තේරුම් ගැනීමට , දෙමව්පියන්ට මහත් සේ ප්‍රයෝජනවත් වෙයි.
ඔබට සෘනාත්මකව හෝ සිල්ලරට සිතන්නේ නැතිව ලොකුවට සිතන්න අත්වැලක් වේවි.

මානව හැකියා ප්‍රවර්ධන ව්ශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා
රත්නා පුෂ්ප කුමාරි

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න