නීරෝගී දිගු වරලසක් ලබා ගැනීම ඕනෑම යුවතියකගේ ආශාවකි. බලාපොරොත්තුවකි. නමුත් හිතූ පමණින් එය කල නොහැකිය. දිගු, නීරෝගී, දිදුලන, ඝනකමැති කෙස් කලඹක් ලබා ගැනීමට පහත කරුණු කියවා බලන්න.
ඔබේ වරලසේ වෙනස ඔබම අත්දකින්න.
1) ඉවසීමෙන් කොණ්ඩය පීරන්න.
තරුණියන්ගේ කාර්යබහුල බවත් සමගම බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ ඉතා ඉක්මනින් කොණ්ඩය පීරා ගැනීමටයි. ඔබේ කොණ්ඩයේ ගැට සහිත නම් ඉවසිලිවන්තව සෙමින් කොණ්ඩය පීරන්න. ඇගිලි තුඩු වලින් කෙස් අග ඇති ගැට කඩා ඉවත් කර ගෙන ඉන්පසුව කොණ්ඩය පීරීම වඩාත් සුදුසුය. ශබ්දයක් නැගෙන සේ කිසිවිටෙකත් කොණ්ඩය පීරන්න එපා. දිනකට ස්වාභාවිකව හිසකෙස් 150-200ත් අතර ප්‍රමාණයක් ගැලවී යාම සාමාන්‍ය වුවද ඉවසීමෙන් තොරව හිසකෙස් පීරීම නිසා අසීමිත කෙස් ප්‍රමාණයක් ගැලවී යාමට පුළුවන.
2) කතුර සමග මිතුරු වී කෙස් අග කපන්න.
දිගු වරලසක් ලබා ගැනීමට සිහින මවන තරුණියන් කොණ්ඩය කැපීමට බියක් දක්වනවා. නමුත් විශේෂඥයන්ගේ අදහස කොණ්ඩය වැවීමට උත්සහ කරනවා නම් මසකට වරක් හෝ මාස දෙකකට වරක් කෙස් අග කප්පාදු කිරීම අවශ්‍ය බවයි. එමගින් කෙස් අග පැලීම නතර වී කෙස් වල සෞඛ්‍ය පවත්වා ගැනීමට හැකි වේ.
3) හිසකෙස් වලට සුදුසු ෂැම්පු සහ කන්ඩිෂනර් තෝරා ගන්න.
වෙළදපලේ කෙතරම් විවිධාකාරයේ සන්නමි නාම ඔස්සේ ෂැම්පු සහ කන්ඩිෂනර් පැවතුනද අන් අය කියු පලියට ෂැම්පු, කන්ඩිෂනර් වර්ග භාවිතා කිරීමට හෝ මාරු කිරීමට උත්සාහ නොකරන්න. එකිනෙකාට කෙස් ගස් වල ස්වභාවය වෙනස් වන බැවින් ඔබේ කෙස් කලඹට ගැලපෙන වඩාත් සුදුසු ෂැම්පු සහ කන්ඩිෂනර් තෝරා ගැනීමට වග බලා ගන්න.
4) තෙල් සම්බාහනය
බහුතරයක් යුවතියන් කෙස් කලඹට තෙල් ආලේප කිරීම ප්‍රතික්ෂේප කරයි. නමුත් ඔබ දන්නවාද කොණ්ඩයට තෙල් ආලේප කිරීම ආගමික කටයුත්තක් මෙන් වටිනා බව. හිසකෙස් වර්ධනයට මෙන්ම සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගෙන යාමටත් අනිවාර්යෙන්ම තෙල් ආලේප කිරීම වැදගත් වෙයි. සම්බාහන මධ්‍යස්ථානයකින් හෝ නිවසේදී ම හෝ ඔබට තෙල් සම්බාහනයක් කර ගැනීමට පුළුවන.
5) කොටිට උරය ගැන සැලකිලිමත් වෙන්න.
හිසකෙස් වර්ධනය ඉහල යෑම පහසු කිරීමට උපකාරී වන දෙයක් තමයි සැටින් හෝ සිල්ක් කොට්ට උරය. ඔබ කපු කොට්ට උරයක් භාවිතා කරනවා නම් අදම සැටින් හෝ සිල්ක් කොට්ට උරයකට මාරු වෙන්න. කපු වලට වඩා සැටින් සහ සිල්ක් රෙදි වල මෘදු බව හිසකෙස් වලට වඩාත් හිතකරය. හිසකෙස් කැඩී යාමද අවම කරයි.
6) නෑමෙන් පසු හිසකෙස් වේලා ගන්නා නිවැරදි ආකාරය
තරුණියන් බහුතරයක් පුරුදු වෙලා ඉන්නේ කොණ්ඩය සේදීමෙන් පසු තුවායකින් ඔතා තැබීමටයි. නමුත් එය වැරදිය. මෙමගින් ඔබේ තුවාය කෙතරම් මෘදු එකක් වුවද තුවායේ ඇති තන්තු වල හිසකෙස් පැටලී ඒවාට හානි සිදු වේ. ඒ වගේම හිසකෙස් වියලීමට යන්ත්‍ර සූත්‍ර සහ මෙවලම් භාවිතා කිරීමද අහිතකරය. එමගින් කෙස් වලට හානි සිදු වේ. සෑම විටම ඇගිලි තුඩු වලින් සෙමින් පිරිමදිමින් ස්වභාවිකව කොණ්ඩය වියලා ගැනීමට ඉඩ හරින්න.
7) හිසකෙස් වලට විවේකයක් දෙන්න.
දිනපතාම කොණ්ඩය පීරමින් විවිධ ආලේපන ගල්වමින් කොණ්ඩ මෝස්තර දැමීමෙන් ද කෙස් කලඹට හානියක් සිදු වේ. විශේෂයෙන්ම කෘතිම ආලේපන භාවිතය, කොණ්ඩය තදට ගැටගැසීම අහිතකරය. එනිසා අඩුම තරමින් නිවසේ සිටින නිවාඩු දින වලදීවත් ඔබගේ කෙස් කලඹට විවේකයක් ලබා දී තෙල් සාත්තුවක් කරන්න.
8) ඔබේ ආහාර ගැනත් සැලකිලිමත් වන්න.
ඇතැම් ආහාර වර්ග මගින්ද ඔබගේ හිසකෙස් වර්ධනයට උපකාරයක් ලැබෙනවා. මේ සදහා බයෝටීන් සහ විටමින් H බහුල ආහාර වඩාත් සුදුසුය. බයෝටීන් බහුල ආහාර වන්නේ කිරි, චීස්, බිත්තර, ධාන්‍ය වර්ග, වට්ටක්කා සහ අලිගැට පේර යනාදියයි. මෙවැනි ආහාර නිතරම කෑම වේලට එකතු කරගන්න.
-ටෙක්ලා දිල්රුක්ෂි-