දවසේ වෙහෙස නිවාලන්නට ගෙවී ගිය පටක කොටස් අළුත්වැඩියා වෙන්නට සොබා දහම දුන් ත්‍යාගයකි නින්ද….
නිදන්නට අවැසි පරිසරය ශබ්ද වලින් තොර එකක් බව ඔබ දන්නවා. නමුත් නින්දෙන් අධික ශබ්දයෙන් ගොරවන්නෙකු නිවසේ සිටී නම් එය හැමෝගෙම නින්දට බාධාවක් විය හැකිවාක් මෙන්ම ගොරවන්නාගේ නින්දටද ඒ ගෙරවීම බාධාවක් විය හැකියි.
නින්දෙන් ගොරවන්නෙ ඇයි ?
එය රෝගයක්ද ?
ඔව්… සමහර අවස්ථාවලදි එය රෝගයක් සේ සැලකිය යුතු ප්‍රතිකාර පැතිය යුතු අවස්ථාවක් ….
නින්දෙන් ගොරවන්නෙකුට පැවතිය හැකි ශාරීරික තත්ත්වයන් අතර නාසය අවහිර වීම, කුඩා දරුවන්ගේ නම් ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාලවීම, නාස් කුටීරය දෙකකට වෙන්කරන ආවාරය ඇද වීම, සෙම්ගෙඩි විශාලවීම, දික් වූ මෘදු තල්ල හා රසදිව, විශාල වූ දිව, තරබාරු ශරීරය හා කෙටි බෙල්ල, නිදි බෙහෙත් සහ මත් පැන් භාවිතය , තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම වැනි රෝග තත්ත්ව ප්‍රදානයි.
සමහර රෝග සඳහා ප්‍රතිකාර පැවතියත් අසාමාන්‍ය ලෙස පාලනය කළ නොහැකි ගෙරවීමක් නම්, ස්වසන මාර්ගය වැසීයාම වැළැක්වීමට Continuous possitive air way pressure නැමති විශේෂ යන්ත්‍රයක් ලබා දිය යුතුය.
වැඩිපුරම ගොරවන්නේ පිරිමි පක්ෂය වන අතර තරුණ කාන්තාවන් ගොරවන්නේ අඩුවෙනි.
වයස අවුරුදු 30ට අඩු නම් සියයට දහයක් ද වයස අවුරුදු 60 ට වැඩි අය සීයට හැටක්ද නින්දෙන් ගොරවයි. ගෙරවීමේ හඬ ඇතිවන්නේ හුස්ම ගන්නා විට තල්ල සහ ග්රසණිකාවේ බිත්තිය දෙදරීමෙනි.එමෙන්ම නින්දෙන් ගෙරවීම ඉතාම සුලභ තත්ත්වයකි.
යාන්තමින් ගෙරවීම ජීවිත හානියකට තුඩු නොදෙන අතර , හුස්ම ගැනීමේ අපහසුතාද ඇති නොකරයි. නමුත් ඉතා තදින් ගොරවන්නන්ට නම් හුස්ම ගැනීමේ අපහසුතා පැවතිය හැකිය.
නින්දෙන් හුස්ම හිරවෙන්නන් හුස්ම ගැනීමට තප්පර දහයකට අධික කාලයක් වරින්වර හුස්ම ගැනීම නවතයි.පැය හතක නින්දකදී මේ අනුව තිස් වතාවකට වඩා හුස්ම නවත්තයි.එය ඉතාම භයානක තත්ත්වයකි.රෝගියා වරින් වර හුස්ම හිරවී අවදි වෙයි.රුධිරයේ ඇතිවන අඩු ඔක්සිජන් සාන්ද්‍රණය හෘදයට , පෙණහළුවලට, සහ මොළයට බලපායි.එසේම ඒ නිසා අධි රුධිර පීඩනය, හෘදයාබාධ ඇති විය හැකිය.මේ නිසා නින්දේ දී වුවද මරණය ළඟාවිය හැකිය. විශේෂයෙන්ම දිවා කාලේ නින්ද එන නිසා රිය පදවන්නෙකු නම් නින්ද යාම නිසා රිය අනතුරුවලට පහසුවෙන් මුහුණ දිය හැකිය . ඔබත් නින්දෙන් ගොරවන්නෙකු නම්, උගුර කන , නාසය පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් හා ප්‍රතිකාර පතන්න.
-යසස්විනී ජයතිලක-