ඇය අවුරුදු විසිඑකක තරුණියක්.මුහුනේ තිබුනේ කළකිරුනු ස්වභාවයක් . සිනාවක් අවුරුදු ගානකින් දැනිච්ච නැති මූණක්.
” මට මගෙ ජීවිතය එපා වෙලා තියෙන්නෙ . මාත් එක්ක මගෙ රහසක් අවුරුදු ගාණක් තිස්සේ හංගගෙන ඉන්නව.ඒක කාටවත් කියන්න බෑ.කිව්වොත් මං ගැන වැරදි විදියට හිතන්නෙ. මම ලොකු අසහනයකින් ඉන්නෙ. ..” ඇගේ කතාව එක දිගට ගලාගෙන ගිය කථාවක් නෙමේ. සෙමෙන් …පහත් ස්වරයෙන්..බිම බලාගෙන …සුසුම් හෙළමින් …බලාගත් අත බලාගනිමින්…ඇස් කොණේ නලියන කදුළු සගවාගැනීමට කරන උත්සාහය සමගින් ඈ හිත තුල තෙරපෙන දෙයක් වචන කරගන්න ලොකු උත්සාහයක් ගත්තා.
” මම කොහොමද මේක කියන්නෙ…මුළු පාසල් ජීවිතය තුල මම ඉගෙනගත් හැම ගුරුවරයෙක් දිහාවම මම එක එල්ලේ බලල තියෙන්නෙ හරිම අඩුවෙන්. මම ගිය වසරෙ උසස් පෙළ කරනකොට මගෙ අවාසනාවට විභාග ශාලාවෙ වැඩිපුර හිටියෙ ගුරුවරු…මම කොහොමද ඒ අය දිහාව බලන්නෙ.බැලුවට පස්සෙ මට පේන දේ එක්ක මට විභාගයට ලියන්න පුලුවන් වුනේ නෑ…මගෙ මූන රතු වෙලා..දාඩිය දාල වෙව්ලනව වගේ මට දැනුනෙ.මට නැගිටල දුවන්න හිතුන….”
ඇය මොහොතක් දෙඅත් වලින් මුහුන වසාගත්තා.
” .මට බෑ ඒක කාටවත් කියන්න ..මම යනව……”
.ඇය අසුනෙන් නැගිට්ට. ඒත් මට හිතුන ඇය යන එකක් නෑ කියල .අඩි කීපයක් ගිහින් ඇය ආපහු හැරුන. දුවගෙන ඇවිත් මගේ කකුල් අල්ලල වැන්ද……
” මම මේ කතාව කාටවත් කියල නෑ..මට ඒක අද කොහොම හරි කියන්නම ඕනෙ..ඒකට මට උදව් කරන්න….”
ඇයට රිසි ලෙස කතා කරන්න ඉඩ දී බලා හිටිය. විනාඩි කීපයක් නිශ්ශබ්ද වී සිටි ඇය හඩ නගා හඩා වැටුනා.
” මට හැම පිරිමියක්ම පේන්නෙ නිරුවතින් ….”
එසේ ප්‍රකාශ කර පළමු වතාවට ඇය මා දෙස එක එල්ලේ බලා හිටිය. මොහොතක නිහඩතාවකට පසු ඇයගේ මුවගට සිනාවක් ආවා.
” මම අවුරුදු ගාණක් හිරකරගෙන සිටි මගේ ප්‍රශ්නය ඒක.ඇහුන නේද…මම ඒක කිව්ව මුල් වතාවට තව කෙනෙකුට …”
ඇයගේ හිත නිදහස් වුනා වගේ..එතැන් පටන් මම මගේ වෘත්තීයමය ප්‍රවේශය ගත්තා.
” කවදහරි පිරිමි කෙනෙක් නිරුවතින් හරි අඩුගානෙ පින්තූරයක් හරි දැකල තියෙනවද….
” අනේ නෑ ..කවදාවත් නෑ….”
” කවද ඉදලද එහෙම දැනෙන්න ගත්තෙ….”
” මට මතක තියන දවසෙ ඉදල …මාත් එක්ක පිරිමි ළමයෙක් යාලු වෙන්න ආවොත් මම හරි නපුරු විදියට බනිනව..මට පිරිමි පේන්න බෑ. ..මම කවදාවත් විවාහ වෙන්නෙ නෑ….”
ඇයගේ ඒ මතක තියන දවස දක්වා බොහෝ දේ සිහිපත් කරමින් කතාබහ ඈතට ගෙන ගියා. ඇය සිහිපත් කළ කිසිම තැනක මෙවන් ගැටලුවක් මතු විය හැකි මූලාශ්‍රයක් තිබුනේ නෑ.
” මගෙ තාත්තට මං හරිම ආදරෙයි පොඩි කාලෙ….”
” ඒ කියන්නෙ දැන් ආදරේ නැද්ද ..? “
” මම දැන් තාත්තා එක්ක කතා කරන්නෙවත් නෑ…”
ගැටලුවට හේතුව හෙළිදරව්වන බව පෙනෙන්නට තිබුනි.
” ඇයි ඒ…”
” පොඩි කාලෙ සිද්ධියක් නිසා මට කළකිරුණා..”
හේතුව ඇත්තේ එතනම බව මට වැටහිණි.
” ඊඩිපස් සංකීර්ණය ” හා ” ඉලෙක්ට්‍රා සංකීර්ණය” යන මනෝවිද්‍යාත්මක සංකල්පමය හේතුවක් එහි ගැබ්ව තිබුණි.
” මම පෙර පාසල් යන කාලෙ තාත්තා එක්කමයි කෑම කන්නෙ…ගමන් යන්නෙ…කොටින්ම තාත්තා තමයි මාව නිදි කරවන්නෙත්…..”
ගැහැනු දරුවන් පියාට සමීප වීමත් පිරිමි දරුවන් මවට සමීප වීමත් එම සංකීර්ණයේ මූලාශ්‍රයකි.
” දවසක් තාත්තා ජැන්ඩියට ඇදල නිවාඩු දවසක කොහෙද යන්න ලෑස්ති වුනා. අම්ම කිව්ව මං දන්නව කොහෙද යන්නෙ කියල … තාත්තා කිව්ව ..ඔව්…මට වෙන ගෑනියෙක් ඉන්නව .එහේ තමා යන්නෙ කියල ….
මට එදා ඉදල තාත්තාව එපා වුනා.මම තාත්තා ගාවට ගියේ නෑ..මම තාත්තාව පිළිකුල් කළා.මට හැම පිරිමියෙක්ම එපා වුනේ එදා ඉදල කියල මේ දැන් මට තේරුම් ගියේ….
ටිකක් කල් ගියාම මට පිරිමි කෙනෙක් දැක්කම ඇදුම් නැතුව නිරුවතින් ඉන්නව වගේ තේරුනා…’
ඇයගේ ජීවිතය කිසිකෙනෙකුට කිව නොහැකි මෙම රහස සමග පීඩාවෙන්ම ගෙවී ගොස් තිබුණි.
කිසිදු සතුටක් , විනෝදයක් මොහොතකටවත් තිබී නැත. ඒ නිසාම ඇයම තාවකාලිකව කළමනාකරණය කරගත් මානසික රෝගී තත්වයකට ඇය ගොදුරු වී තිබුණි.
වාසනාවට ඇගේ සිතේ වූ අදහසක් වූවේ
” යම්කිසි පෙර කළ පවක්” නිසා මෙසේ වී ඇති බවයි.
ඒ නිසා ජීවිතය නැති කරගැනීම මහත් පවක් නිසා ඒ සිතුවිල්ල යටපත් කරගෙන තිබුණි.
ඇයට නවකතාවක් , ටෙලිනාට්‍යක් චිත්‍රපටයක් නරඹන්නවත් ප්‍රියතාවක් තිබී නැත.
එහෙත් ඇයට ජීවිතයේ ලස්සන ,සුන්දරත්වය, විනෝදය පිළිබඳ අත්දැකීම් මුසු කිරීමෙන් පසු පෙර කී ගැටලුව කෙමෙන් දුරුවන්නට පටන් ගත් හැටි ඇයටත් පුදුමය.ඇය දැන් විවාහකය.අම්මා කෙනෙකි. ඇයගේ ජීවිතය අගාධයකට ගෙනයමින් තිබූ ඒ මානසික ගැටළුව තාමත් දන්නේ ඇයත් මාත් පමණෙකි.
බොහෝ දෙනෙකුට මෙවන් ව්පරීත මානසික ගැටලු තිබුණත් ඊට ප්‍රතිකර්ම සෙවීමට මැළිවෙති.
” ඒක තියෙන්නෙ හිතේනෙ .කාටවත් පේන්නෙ නෑනෙ” කියා සිතමින් ජීවිතයම අදුරේ ගෙවති. එවන් මානසික ගැටලු මානසික පමණක් නොව ශාරිරික රෝග සදහා ද මූලාශ්‍රයක් බව බොහෝ අය නොදනිති.
–මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ, මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි–