මනෝවිද්‍යා උපදේශනය කියන්නේ කුමක් ද?

0
585

මනෝවිද්‍යා උපදේශකවරුන්ට හා සේවාලාභීන්ට…….

මනෝවිද්‍යා උපදේශනය කියන්නේ කුමක් ද…..

මේ වකවානුව තුල මුළු ලෝකය පුරාම සිටින ජනතාව මනෝවිද්‍යා උපදේශනය එහෙම නැත්නම් councelling ගැන බොහොම ලොකු උනන්දුවක් දක්වන වකවානුවක්.
ඉන්දියාවේ මහාචාර්යවරයෙක් දිනක් අප හට පැවසුවේ මේ පෘථිවියේ අවසාන මිනිස් ජීවියා ජීවත් වන විටත් අවශ්‍යවන සේවයක් ලෙස මනෝවිද්‍යා උපදේශනය හැදින්විය හැකියි කියා.

ඒත් බොහෝ දෙනෙකුට මනෝවිද්‍යා උපදේශනය පිළිබඳව නිසි අවබෝධයක් නැති බව
අපේ රටේ ජන ජීවිතය දෙස බැලූ විට පෙනෙන දෙයක්.
ඒ නිසාම එයින් ලැබෙන පෝෂණය එහෙමත් නැත්නම් ජීවිතය සතුටින් සාර්ථකත්වය කරා ගෙනයන්න අවශ්‍ය මාර්ගය හා ශක්තිය උදා කර ගත නොහැකිව බොහෝ දෙනා ලතවෙනවා .

එහෙම නම් අපි බලමු මනෝවිද්‍යා උපදේශනය කියන්නේ ඉතාමත් සරලව කෙටියෙන් කුමක්ද කියලා ..

එය උපදෙස් දීමක් හෝ අනුශාසනා දීමක් නෙමෙයි . ප්‍රශ්න විසදාදීමක් නොවෙයි.
යම් පුද්ගලයකුට තමන්ගේ ගැටළුව තමන් කැමති ආකාරයකට විසඳාගැනීමට ලබාදෙන බලය හා ශක්තිය උත්පාදනය කරගැනීමට මගපෙන්වීමක් පමණයි.
එය නීතිමය උපදේශනය කින් වෙනස් .
ඒ වගේම සදාචාරය, සංස්කෘතිය , සමාජයීය හෝ සම්මතය අභිභවා ගිය අදාල පුද්ගලයාගේ මානසිකත්වය සුවපත් කරමින් ධනාත්මක ප්‍රවේශයක් ඇති කර එම පුද්ගලයා සතු ආත්ම ශක්තිය සහ විශ්වාසය බලවත් කරවන විද්‍යාත්මක ක්‍රියාවලියක්.

මනෝවිද්‍යා උපදේශනය කියන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණු විට පමණක් ලබාගත යුතු සේවයක්ද…?

බොහෝ දෙනා සිතන්නේ විසඳගන්න බැරි ගැටලුවක් ,ප්‍රශ්නයක් ආ විට පමණක් අවසන් උත්සාහය ලෙස ලබා ගත යුතු පියවරක් කියා.
අන්න ඒ නිසයි දිවිනසා ගන්නට ගිහින් බේරුණු විට , දික්කසාදය දක්වා ගිය පවුලකට අධිකරණයක් මගින් උපදේශන කාලසීමාවක් දුන් විට වැනි ඉතාමත් බැරෑරුම් අවස්ථාවලදී පමණක් ශ්‍රී ලාංකික ජන සමාජය තුල මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ උනන්දුවක් ඇති වී තිබෙන්නේ .
ලෝකයේ බොහෝ රටවල සෑම පවුලකටම
” මනෝවිද්‍යා උපදේශකවරයෙක්” යන සංකල්පය පවතිනවා. එසේත් නැත්නම් පවුලේ වෛද්‍යවරයා , පවුලේ නීතිඥවරයා , සේම පවුලේ මනෝවිද්‍යා උපදේශකවරයෙක්ද සිටිනවා .
එසේම සෑම පාසලකම සෑම සේවා ස්ථානයකම ආදී වශයෙන්
මනෝවිද්‍යා උපදේශකවරුන් තමන්ගේ සේවය ඉතාමත් සක්‍රීය ලෙස ලබා දෙනවා. සාමාන්‍යයෙන් වාහනයක් යම්කිසි කාලසීමාවකදී සර්විස් කරන්නාක් මෙන් තම ජීවිතය ද එසේ නොමැති නම් තම මානසිකත්වයද සර්විස් කරගැනීම අත්‍යවශ්‍ය වන්නේ එමගින් ආතතියකින් පීඩාවකින් තොරව හා ආත්ම විශ්වාසයකින් යුතුව තම අරමුණු කරා යෑමේ ශක්තිය ඇති වන නිසා .මොළය නැමැති ශාරිරික අවයවය මෙහෙයවන්නට මානසිකත්වය බලපාන නිසා හා මානසිකත්වය ධනාත්මක හෝ සෘනාත්මක ලෙස ඕනෑම බලපෑමකින් වෙනස් වන හෝ වෙනස් කරගත හැකි නිසා එය ඉතා වැදගත් .
දිනකට මිනිස් මනස තුල ඇති වන සිතුවිලි හැටදහසකින් පමණ වැඩිම ප්‍රමාණයක් සෘනාත්මක නිසා හා ස්වාභාවයෙන්ම සෘනාත්මක සිතුවිලි කෙරෙහි ඇතිවන ආකර්ශනය නිසා එය කළමනාකරණය කරගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙසත් මනෝවිද්‍යා උපදේශනය වැදගත්.
විවාහයට පෙර යම්කිසි යුවලක් මනෝවිද්‍යා උපදේශනය ලබා ගන්නේ නම් ඔවුන්ට තම විවාහ ජීවිතය තුළ ඉතාමත්ම අවබෝධයෙන් එකිනෙකා වෙනුවෙන් කැපවෙමින් සාර්ථකව ඉදිරියට යාමට ප්‍රවේශයක් ලැබෙනවා. විවාහ මංගල්‍යය වෙනුවෙන් වසර කීපයක් සූදානම් වන ලක්ෂ ගණන් වියදම් කරන අය විවාහ වූ මුල් පැයේ සිට අර්බුදකාරී අත්දැකීම් සදහා මුහුනදෙනවා. විවාහ වී මුල් මාස තුන හා මුල් වසර තුල දික්කසාද වීමේ ප්‍රවනතාව වැඩි වී ඇත්තේ මේ නිසායි. බොහෝ රටවල ” වෙඩින් පැකේජය” සදහා අඩුම වශයෙන් මනෝවිද්‍යා උපදේශක සැසි තුනක්වත් ඇතුළත් කර ඇත්තේ මේ නිසා.
එසේම මනුෂ්‍ය ජීවිතයේ විටින් විට මුහුණදීමට සිදුවෙන සංවේදී ,හැගීම්බර සංසිද්ධීන් වලදී ඒ සඳහා මනෝවිද්‍යා උපදේශනය ලබා ගැනීම ඉතාම වැදගත් වනවා.
” තව ටිකක් බලමු…”
” පස්සෙ හරියයි” ආදී ලෙස සිතමින් බොහෝ අය ගැටලුව සංකීර්ණ කරගැනීම සුලබ දෙයක්.

උපදේශනය නිර්දේශ කරන අන් අවස්ථා මොනවාද…

අප ජන සමාජය දැනුවත් කළ යුතුම කරුණ එයයි.
ඔබේ ජයග්‍රහණයකදී, සාර්ථකත්වයකදී, රැකියා උසස් වීමකදී, විදෙස් රටකට යාමේදී, දරුවෙක් ලැබීමට සිටියදී හා ලැබුනු විට ආදී ඕනෑම ධනාත්මක සුබවාදී අවස්ථාවලදීද මනෝවිද්‍යා උපදේශනය වැදගත් බව ඔබ නොදන්නවා විය හැකියි.
අපගේ යහපත් මානසික සෞඛ්‍ය හා සමබර මානසිකත්වය සදහා ධනාත්මක හෝ සෘනාත්මක සිතුවිලි ,අත්දැකීම් හෝ හැගීම් කළමනාකරණය සදහා මනෝවිද්‍යා උපදේශනය ඉතා වැදගත් .

අප රටේ මනෝවිද්‍යා උපදේශනය තවමත් එතරම් ප්‍රචලිත නැත්තේ ඇයි…?

මේ සදහා හේතු කීපයක් ඇත…
දැනුම,අවබෝධය , අත්දැකීම් ,කුසලතා, යාවත්කාලීනවීම සතු මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ හිගයක්ද ඇත. මෙය සහතික රැසක් පමණක් ඇති අයෙකුට හෝ හැදෑරීමක් නැති සමාජ අත්දැකීම් පමණක් ඇති අයටද කළ නොහැකියි . සෑම වෘත්තීයකම සේම දැනුම හා එක් වූ පුද්ගල කුසලතා මත වෘත්තිය නිපුනත්වය රදා පවතී.

එසේම කුඩා රටක ජීවත්වන අප සතු සංස්කෘතික හා සමාජීය බලපෑමයි.

” මට පිස්සු නෑ …”

” ඕවට ගියා කියල අපේ ප්‍රශ්න විසදෙනවද…”
” කවුරුහරි දැක්කොත් මොනව නොහිතයිද..”
” අපේ විස්තර දැනගෙන කාට හරි කිව්වොත් …”
ආදී කරුණු නිසා එය මගහැරීම සිදුවේ.

මෙය නොමිලේ ලබා ගත හැකි ස්වේච්ඡා සේවයක්ද…..

බොහෝ විට රාජ්‍ය නොවන සංවිධාන හා ප්‍රාදේශීය ලේකම් කාර් යාල ආදී ආයතන නොමිලේ මනෝවිද්‍යා උපදේශනය සිදු කළත් එය අනෙකුත් සේවා මෙන් ලබාදෙන වෘත්තියමය සේවයක් බවද අවධාරණය කළ යුතුයි .
මනෝ වෛද්‍යවරුන්,
මනෝ චිකිත්සකවරුන් , මනෝ විද්‍යාඥයින් හා මනෝවිද්‍යා උපදේශකවරුන් ගේ වෘත්තියමය පරාසය එකිනෙකට වෙනස්ය.
මනෝ වෛද්‍යවරුන් ඖෂධ නියම කරන අතර මනෝවිද්‍යා උපදේශක වරුන් කිසිවිටෙක ඖෂධ නියම නොකරයි.
මනෝ වෛද්‍යවරුන් උපදේශනය සදහා මනෝවිද්‍යා උපදේශක වරුන් වෙත යොමුකරන අතර ඖෂධ අවශ්‍ය වේයැයි හෝ මානසික රෝගී තත්ත්වයක් යැයි හැගෙන සෑම විටම තම සේවාලාභියා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරවීම මනෝවිද්‍යා උපදේශක වරයාගේ වගකීමයි.

බොහෝ විට මනෝවිද්‍යා උපදේශකවරුන් මසකට යම් උපදේශන සැසි කීපයක් නොමිලේ කරනු ලැබුවත් එය සැබැවින්ම මූල්‍යමය වටිනාකමක් සහිත සේවාවකි.

එක් සැසියකින් සියලු ප්‍රශ්න විසදාගැනීමට හැකිද…..

සමහර විට සේවාලාභීන් පවසන්නේ ” මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා .විනාඩි දෙක තුනකින් විසදගන්න පුලුවන් ද “
සමහර විට ක්ෂණික හෝ මැජික් ආකාරයෙන් දුරකථනයෙන් එය විසදා ගැනීමට බොහෝ අය උත්සාහ කරති.
අදාළ පුද්ගලයාට ඇති ගැටලුවේ ස්වභාවය , යමක් අවධාරණය කරගැනීමේ ප්‍රමානය, ග්‍රහණය කරවීමේ හා ග්‍රහණය කර ගැනීමේ හැකියාව , ගැටලුව තුල සිටි කාලය, අවට පරිසරය හෝ පුද්ගලයන් ගේ බලපෑම , තමන් සතු මතිමතාන්තර , දැනුම,බුද්ධිය, අත්දැකීම් ආදී බොහෝ දේ මේ සදහා බලපානු ඇත.කොටින්ම එකම හා සමාන ගැටලුවකදී වුව උපදේශනය වෙනස්වේ.ලෝකයේ එකම හෝ සමාන මානසික මට්ටමක සිටින පුද්ගලයන් නොමැති සේම මානසිකත්වය යනු සැනකින් වෙනස්වන දෙයකි.
මනෝවිද්‍යා උපදේශනය අන් කවරදාටත් වඩා අවශ්‍ය යුගයක අපි ජීවත් වන අතර කෙටි මිනිස් ජීවිතය වඩා සුන්දර , සැනසීම,සතුට හා සාර්ථකත්වය පිරි ජීවිතයක් කරගැනීමට මනෝවිද්‍යා උපදේශනය වැදගත්ය.
ඉදිරි ලිපියෙන් තවත් මේ පිළිබඳව විමසා බලමු.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා
රත්නා පුෂ්ප කුමාරි

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න