ඔබට මැණිකක් ලැබී ඇත. එම මැණික ඔප දමන්න.

0
104

මෙලොව මිනිසාට ඇති වටිනාම වස්තුව කුමක්දැයි ඇසූවිට බහුතරයකගේ පිළිතුර “දරුවන්” යන්නයි. කොතරම් මිළ මුදල් ඉපයුවත් , ජීවිතය සාර්ථකත්වය ලැබුවත්, ඉහල තනතුරු දැරූවත්, දරුවන් යනු සියල්ලට වඩා ඉහලින් තිබෙන මිළ කල නොහැකි වස්තුවකි.

දරුවා මෙලොව එළිය දකින්නේ තමාටම ආවේණික රටාවක් සමග සුවිශේෂී අයෙකු ලෙසය. සෑම දරුවකුම එක හා සමාන නොවේ. දරුවාගේ විශේෂත්වය , හැකියාව ,පරිසරය, සහජ දක්ශතා, අධ්‍යාපනය , අත්දැකීම අනුව ඔහු සුවිශේෂී චරිතයක් බවට පරිවර්තනය වෙයි. ඕනෑම දරුවෙකුට තම බුද්ධිය ,චින්තන ශක්තිය වර්ධනයට අවශ්‍ය ඉඩකඩ සලසා දීමෙන් ඔවුන්ට තම සිතුවිලි නිදහසේ ක්‍රියත්මක කිරීමට හා නව අත්දැකීම් ලබා දීමෙන් මනස දියුණු ,ශක්තිමත් වැඩිහිටියකු අනාගතයේ බිහිවෙයි.

දරුවන්ගේ වයස සමග වර්ධනය වන ක්‍රියාවන්,හැසිරීම් , සිතුවිලි , මනස, හා ශාරීරික මෙන්ම අන්‍යොන්‍ය සම්බන්ධතා ගැන වැඩිහිටියන් සැලකිල්ලට ගත යුතු වන අතර එය වැඩිහිටියන්ගේ වගකීමකි.

ලොවට නොකිලිටිව හිස් අතින් එන දරුවා තමාව පුරවා ගන්නේ පරිසරයෙනි. දරුවාට බිළිඳු වියේ හා ළදරු වියේ තමාගේ වැඩ කටයුතු තනිව කර ගැනීමට නොහැකි නිසා වැඩිහිටියන් දරුවාට උදව් කල යුතු අතර , ළමා වියේ දරුවාට තනිව කරගත හැකිදේ කිරීමට ඉඩ හැරිය යුතුය. වයසෙන් වැඩෙත්ම වැඩිහිටි අවධානය සමග ක්‍රමක් ක්‍රමයෙන් දරුවා ස්වාධීන වේ.

දරුවා අතින් වරදක් වූ විට ප්‍රසිද්ධියේ හෝ ප්‍රමාදවී අවවාද හෝ දඩුවම් ලබා දීම සුදුසු නොවන්නේ එය ඔවුන්ගේ ස්ව අභිමානය විනාශ වීමට ඉඩ ඇති නිසාය.

ආධ්‍යාත්මික ගුණවගාවෙන් සන්නද්ධ කරන්න. එමෙන්ම වයසට අනුකූලව විනය කිරීම් මෙන්න සීමා පැනවීම කල යුතුයි. සැලසුමක් අනුව දරුවා ගොඩ නංවන්න . දරුවාට අවශ්‍ය සමබල ආහාර වේල,ප්‍රතිශක්තිකරණ ක්‍රියාව, වීවේකය,ව්‍යායාම, ඖෂධ මෙන්ම විවේකයද ලබාදිය යුතුය. එවිට දරුවා නිරෝගී අයකු ලෙස වැඩේ.

පරිසරය විදින්නට ඉඩ අරින්න. ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරන්න. නිතර තම දරුවන් සමග කතා කරන්න. දරුවා විශ්වාස කරන්න. දරුවා වැඩිහිටියකු වන තුරු ඇසේ කලුරුවාව මෙන් රැක ගන්න. එයින් දරුවාට සමාජයෙන් නොවිය යුතූ දේවල් සිදු නොවේවි..

දරුවා රැක ගැනීම හැම වැඩිහිටියකුගේම යුතු කමකි.දරුවා දරුවකු මිස ළමා වැඩිහිටියකු නොවන බව සිහියේ තබා ගන්න..ඔබට හසුවන දරුවා නැමැති මැණික ඔප දමන්න.
දිනක ඔබ පමණක් නොව ඒ මැණික නිසා මූළු ලොවම බැබලේවි…..

ළමා ආරක්ෂක පුහුණු නිලධාරිනී,රූපවාහිනී නිවේදිකා, ලේඛිකා
දිල්රුක්ෂි ඉලංගකෝන්

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න