2021 ඔබේ ජීවිත පොතේ සාර්ථකම පිටුව කරගන්න නම්. මෙන්න වටිනාම තීරණය ගැනීමට වටිනාම අවස්ථාවක්.

0
159

අපේ ජීවිතයේ උපතේ සිට විපත දක්වා වන මේ ජීවිත කාලය තුළ අපගේ විවිධ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා කාලය ගෙවමින් ඉදිරියට යන්නෙමු .
ඔබේ ජීවිතයේ සෑම විටකම බලාපොරොත්තු ගොන්නක් ඇත .
මේ මොහොතේ හොඳින් ඔබේ සිත අවදිකර බලන්න .
ලොකු පොඩි බලාපොරොත්තු කොපමණ ඔබගේ සිත ඇතුළේ සිරවී ඒවා යථාර්ථයක් කරගැනීමට නොහැකිව වෙර දරනු ඇද්දැයි ඔබට හොඳින්ම වැටහෙනු ඇත.

ජීවිතේ යනු බලාපොරොත්තු ලෙස විටෙක අපිට ලඝු කොට දැක්විය හැකිය. බලාපොරොත්තු නොමැතිනම් ජීවිතයක් ද නැත. බොහෝ දෙනා තමාට ප්‍රශ්න ගොඩක් ඇති බව කියති .
එසේම ඒ ප්‍රශ්න පත්‍රය නිසා ජීවිතයේ ගතවන සෑම තත්පරයක්මද ව්‍යාකූලව , කලකිරීමෙන් දුකෙන් ගෙවෙන අය බොහෝ සිටිති.
බොහෝ ප්‍රශ්න යනු බොහෝ පිළිතුරු සේම සාර්ථකත්වයේ මායිම බව බොහෝ දෙනා නොදනිති .
මොහොතකට සිතන්න… යමෙකුට කිසිදු ප්‍රශ්නයක් නොමැති නම් ඔහුට ජීවිතයේ බලාපොරොත්තුද නැත. එසේම ඔහුට ජීවිතයක් ද නැත.

එවන් අය වල්මත් වූ මනසකින් අවතැන් වූ ජීවිතයක් ගත කරනු ඇත. එම නිසා මම ඔබට කියමි .ඔබට ප්‍රශ්න ගොඩක් ඇත්නම් ඔබට ගොඩක් සතුටු විය හැකිය .ඔබේ ප්‍රශ්න සියල්ලම ඔබ ප්‍රාර්ථනා කරන ආකාරයටම විසඳුනේ නොමැති වුවද ඔබ ඒ ප්‍රශ්න වල ස්වභාවය සහ විසඳන්නේ නැති ආකාරය පිළිබඳව හෝ යම් අවබෝධයක් තිබෙන කෙනෙකු බවට පත් වෙයි. එම නිසා ප්‍රශ්න යනු වෙස්වලාගත් ආශිර්වාදයක් යැයි සිතන්න.

ඔබගේ ඔය ප්‍රශ්න පත්‍රය කඩදාසියක් පෑනක් ගෙන සටහන් කරන්නට ඔබට හැකි නම් ඒ සටහන ඇති ප්‍රශ්න වෙන් කරගන්නට අවකාශයක් ලැබෙනු ඇත. ඒත් ඒ වෙන් කිරීමේදී ඔබ ඔබේ ජීවිතයේ වටිනා ධනාත්මක බලාපොරොත්තු ද ප්‍රශ්න ගොඩට ම දමා ඇතැයි ඔබට පැහැදිලි වනු ඇත. උදාහරණයක් ලෙස නිවසක් සෑදීමට , හොඳ රැකියාවක් ලබා ගැනීමට ව්‍යාපාරය දියුණු කර ගැනීමට හොඳ අධ්‍යාපනයක් ලැබීමට ඔබ තුළ ඇති ධනාත්මක බලාපොරොත්තු ද වැරදීමෙන් ඔබගේ මේ ප්‍රශ්න පත්‍රයටම එකතු කර තිබෙන්නට පුළුවන. එසේ නම් මේ එළඹෙන්නේ ඒ ධනාත්මක බලාපොරොත්තු එක් පැත්තකට දමමින් ඒ උදෙසා කටයුතු කිරීමට ඔබේ ජීවිතේ ලැබෙන හොඳම දින කීපයයි .මේ ‍ප්‍රශ්න පත්‍රයේ නිදන් ගත රෝගයක් වසර ගණන් ඇදෙන නඩු හබයක් නොවෙන්නට අනෙක් සියලු දේ ඔබේ ජීවිතයේ ධනාත්මක බලාපොරොත්තු බව ඔබ මීට කලින් මොහොතකටවත් සිතා නොමැති වන්නට පුළුවන්.

ඒ නිසා මේ උදා වන්නට යන්නේ ඔබගේ ජීවිතයේ වටිනාම දිනයක් , වටිනාම හෝරාවක්, වටිනාම විනාඩියක් හා වටිනාම තත්පරයයි.
ඒත් ඔබ ඒ පිළිබඳව නිසි ලෙස කල්පනා කර නිසි ලෙස සිතන්න අකැමැති නම් කිසි විටෙක ඔබට එවා ජයග්‍රහණය කිරීමට හෝ සාර්ථක කර ගැනීමට අවස්ථාවක් නොලැබී යන්නට පුලුවන.

එසේනම් ඔබේ ජීවිතයේ වටිනාම සාර්ථකම බලවන්ම දිනය උදාකරගන්න අවශ්‍ය බලවත්ම මෙවලම මෙම ඔබ සතු නිසා ඔබට ඒ මෙවලම එක්වරක් නිසි ලෙස පාවිච්චි කිරීමේ අවස්ථාව ලබාගත හැකි නම් ඔබේ ජීවිත පොතේ අලුත් පිටුවක් මෙන්ම ජීවන ගමනේ නව මාවතක උදාර ආරම්භයක් ද වනු ඇත මේ මෙවලම කුමක්ද …..?
මේ මෙවලම මේ පෘථිවිය තුළ සෑම පුද්ගලයෙක්ම ජීවිතය සාර්ථක කරන්නට අමරණීය කරන්නට කේන්ද්‍රීය වූ මෙවලමයි. මේ මෙවලම කිසි කෙනෙකුට අයිති නැති අන්සතු කළ නොහැකි ඔබ තුළම ඇති මෙන්ම තිබෙන ආකාරයෙන් තවත් ආකාරයකට යොමුකරවීම පමණක් ඔබට පහසුවෙන් කළ හැකි මෙවලමකි.

මේ මෙවලම ඔබ තුළ ඇති ඔබට පාලනය කර ගැනීමට කළමනාකරණය කර ගැනීමට ඕනෑම විටෙක හැකියාව ඇති ඔබේම ” මනසයි”. කාන්තාවක් මා වෙත ආවේ ඇගේ සියලු හරිහම්බ කරන ලද දේපල විනාශ වී පවුල විතරක් රැක ගැනීමට හැකි වූ ඉතාමත් ම ඛේදජනක අවස්ථාවකයි. එසේම ඇය කීවේ ඉතාම ධනවත් ව සිටි යාන වාහන රැසක් හිමි ව සිටි සාර්ථක ව්‍යාපාරයක් හිමිව තිබූ ඔවුන්ට කොඩිවිනයක් හේතුවෙන් මේ ආකාරයෙන් ඉතාමත්ම දිළිඳු හා අසරණ තත්වයකට පත්වීමට සිදු වූ බවයි .

ඇගේ සැමියාත් ඇයත් දරු දෙදෙනා සමඟ ජීවිතය විනාශ කර ගැනීමට කීප වරක් තීරණය කර අවසාන වශයෙන් යම්කිසි මාර්ගෝපදේශකත්වයක් ලබා ගැනීම පිණිස මනෝවිද්‍යා උපදේශනය වෙත යොමුවීම ඇගේ ජීවිතයේ ධනාත්මක බලවත්ම තීරණය බවට පත්විය.

ඇය කී කොඩිවිනයක් කවුරුන් කළේද යන්න පැහැදිලිව දැන සිටියේ නැත .ඒ කොඩිවිනය කෙසේ කොතනක කෙදිනක කරන ලද්දක් ද යන්න ද ඇය දැන සිටියේ නැත. ඇය කීවේ ඇගේ පවුලට හිතවත් කෙනෙක් විසින් ඔවුන් හට ඒ පිළිබඳව පැවසු බවයි.

මේ කොඩිවිනය ඔවුන්ගේ ජීවිතයේ සෘණාත්මක බලවේගයක් වී මනස තුළ සෑම තත්පරයකම ක්‍රියාත්මක වී දවසෙන් දවස අසාර්ථකත්වයේ මාවත වෙතම ඔවුන්ව යොමු කර ඇති බව ඔවුන්ට ම පැහැදිලි කරවීමට හැකි වීම ඔවුන්ගේ ජීවිතයේ ධනාත්මක බලයේ ප්‍රවේගය ගොඩනැගීමට බලයක්ම විය. ඇය වසරක් තුල සිටියාටත් වඩා උසස් මට්ටමකට ආවේ මානසික කොඩිවිනය පරදා මානසිකව කරන ලද සටනක ප්‍රතිඵලයක් ලෙසිනි.
සාමාන්‍යයෙන් සෘණාත්මක සිතුම් පැතුම් අප මනසේ බලවන්තවීම සාමාන්‍ය ස්වභාවයයි.

දිනක් ඇතුළත සිතුවිලි 60,000 කට වැඩි ප්‍රමාණයක් අපේ සිතේ ජනිත වුවද එයින් ධනාත්මක සිතුවිලි ඇත්තේ කීපයක් පමණක් බව ඔබ දන්නවාද …?
එසේම එම ධනාත්මක සිතුවිලි ද ඉතා ඉක්මනින් අපගේ මතකයෙන් වියැකී ගියද සෘණාත්මක සිතුවිලි අප මනසේ වැජඹෙන බව ඔබ දන්නවාද …?

එහෙත් එම සෘණාත්මක සිතුවිලි එක මොහොතකින් සුණුවිසුණු කර දැමීමට තරම් ඔබේ මනසේ බලවත් ධනාත්මක සිතුවිල්ලකට හැකි බව ඔබ නොදැන සිටියා වන්නට පුළුවන්. එසේ නම් මේ එම බලවත් ධනාත්මක සිතිවිල්ල ඔබගේ සිතේ ජනිත කළ යුතු ඔබේ ජීවිතයේ වටිනාම තත්පරයයි .
මේ තප්පරය ඔබ ඉවත දැමුවොත් නැවත කිසිදා එවන් සිතුවිල්ලක් පහළ නොවන්නටද පුළුවන.

සමහරවිට ඔබගේ දැනට සිටින ව්‍යාකූල තත්වය කලකිරීම් සහගත තත්වය නිසා ඔබට ඔබ යා යුතු පාර ඔබ ගත යුතු තීරණයක් ඔබ වෙනස් විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි සිතුවිල්ලක් නිර්මාණය කරගැනීමට අපහසු වන්නට පුලුවන්. ඒ සඳහා ලෝකයේ නිර්මාණය වී ඇති විද්‍යාත්මක බලවත්ම සංකල්පය ” මනෝ විද්‍යා උපදේශනය ” යි.

ලෝකයේ බොහෝ රටවල මනෝවිද්‍යා උපදේශනය ඔවුන්ගේ ජීවිතයේ වැදගත් කොටසක් බවට පත් කර ගෙන ඇත.එසේම සෑම පවුලකටම පවුලේ උපදේශකවරයෙක් සිටිති. එම උපදේශකවරුන් අදාල පවුලේ යහපත් මානසිකත්වය පිළිබඳව විද්‍යාත්මකව මාර්ගෝපදේශකත්වය සලසා දෙන්නෝ වෙති. ඔබේ ඔය සිතෙන් අලුත් ආත්මයක් ලබා ගැනීමට නම් අලුත් ජීවිතයක් ලබා ගැනීමට නම් මනෝවිද්‍යා උපදේශනය ඔබට ඉතාමත්ම වැදගත් සාධකයක් බව ඔබට ම අවබෝධ වන්නේ වනු ඇත. නිසි උපදේශනය නිසි උපදේශකවරයෙක් වෙතින් ලබාගත් මොහොතේදී ජීවිතයේ වටිනාම දවසේ වටිනාම පියවරක් ගෙන වටිනාම ජීවිතයක් අත්පත් කර ගැනීම ඔබට කළ හැක්කක් බව අවධාරනය වනු ඇත.

එය ඔබගේ මනසට මේ මොහොතේ බලවත් සිතුවිල්ලක් කරගැනීමට හැකි නම් ඒ ඔබේ ජීවිතේ ඇතිකරගත් වටිනාම ප්‍රබලම සිතුවිල්ල බවද ඔබට ඉක්මනින්ම වැටහෙනු ඇත.
බලවන්ත හා සාර්ථක සිතුවිලි සෑම දෙනෙකුටම පහළ වන්නේ නැත. එය ඔබ වැන්නෙකුට පමණක් ඇතිවන්නකි.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ , ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා
රත්නා පුෂ්ප කුමාරි

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න