12.6 C
New York
Friday, November 22, 2024
මුල් පිටුවවිනෝදාස්වාදයදේහධාරී සටන් නළුවාගේ හද සසල කරන කතාව… කපිල සිගේරා.

දේහධාරී සටන් නළුවාගේ හද සසල කරන කතාව… කපිල සිගේරා.

හදිසි රිය අනතුරක් හේතුවෙන් රංගන ජීවිතයට කෙටි විරාමයක් ලබාදුන් විලන් ගේ චරිතයට පෙම්බැඳි සොඳුරු චරිතය.. .

අද සුබ TV අපිත් එක්ක මේ කතාබහට එකතු වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී කපිල සිගේරා . මෙතුමා විවිධ චරිත වලට පණ පොවමින් වැඩිපුරම විලන්ගේ චරිතයට ඇලුම්කල දක්ෂ කලාකරුවෙකි. සැබෑ ජීවිතයේදී මොහු සංවේදී නිහතමානී චරිතයක්.

අද වන විට ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන කපිල සිගේරා මහතා කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීම සිදුවූයේ කොයි විදිහටද? ” මං සිනමාවට සම්බන්ධ වෙන්නේ පාසල් වේදිකාවෙන්. අලුතෙන් නළු නිළියන් හොයනවා කියලා පළවුනු ලිපියක් දැකලා මගේ තාත්තා දවසක් සරසවි පත්තරය මට ගෙනල්ලා දෙනවා. මං ඒකට අයදුම් කලා. ඊට පස්සේ මට මතකයි මං අයදුම් කරලා සමිමුඛ පරීක්ෂණයට ගියාට පස්සේ මං දිහා
උඩ ඉදන් පහලට බලලා ඒකට කට්ටිය අරන් ඉවරයි කියලා කිව්වා. අන්න ඒ දවසේ ඒ මොහොතේ මම හිතුවා කවදා හරි මං මේ ක්ෂේත්‍රයේ තැනකට එනවා කියලා. ඒ අරමුණ ඒ අධිෂ්ඨානය තමයි මාව මේ දක්වා මේ ගමන අරගෙන ආවේ…”

අතීතයේ ඉඳන් වර්තමානය දක්වා ඒ ආ ගමන් මඟ කොයි වගේද?
85 – 86 වර්ෂ වල තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. ඒ කාලෙ ඉදන් 2017 වර්ෂය වෙනකම් ටෙලිනාට්‍ය, චිත්‍රපට ගොඩක මම රඟ පෑවා. විවිධ දුක් කම්කටොලු බාධක මැද්දෙ තමයි මේ කලා ජීවිතයේ මෙතරම් දුරක් මං ආවේ.
කපිල සිගේරා කියන නම හදාගන්න මං සෑහෙන මහන්සි වුණා. …”
” … මේ වනවිට ඔබතුමා ටෙලි නාට්‍ය, චිත්‍රපට රාශියක විවිධ චරිත වලට පණපොවලා තියෙනවා. ඒ අතරින් කපිල සිගේරා ප්‍රේක්ෂකයන් අතර වැඩියෙන්ම ජනප්‍රිය වුණේ මොන වගේ චරිතයකින්ද? පිළිතුර: මං හැඩි දැඩි උස මනුස්සයෙක්. විලන්ගේ චරිතයට මං ගොඩක් ආසයි.

මං දවසක් තාත්තා එක්ක චිත්‍රපටයක් බලන්න යනවා. ඒ චන්ඩියා චිත්‍රපටයේ එෆ්.බී. කුලතුංග කියන චරිතය තමයි මගේ ජීවිතයේ විලන්ගේ චරිතයට පණ පොවන්න හේතුවක් වුණේ. එදා ඉඳන් මං විලන් චරිත වලට ආස කලා. වැඩිපුරම දායක වුණේ විලන්ගේ චරිත වලට. …”

“…..විලන්ගේ චරිතයට වැඩිපුරම ඇලුම් කරපු කපිල සිගේරා විලන්ගේ චරිතයටම කොටු වුණා ද?
“….නැහැ. මම හාමුදුරුවන්ගේ, පල්ලියේ පියතුමන්ගේ, පෙම්වතාගේ, යාලුවගේ මේ වගේ විවිධ චරිත ගොඩක් කරල තියනවා. චරිත බෙදාගැනීමක් බෙදීමක් කරල නෑ. මට ලැබුණු පොඩි චරිතයකට වුණත් මං ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනව
….. මේ විදියට විවිධ චරිතවලට පණ පොවපු ඔබතුමාට රඟපාන්න සිදුවුණු අමාරුම චරිතය මොකක්ද?

“…. අමාරුම චරිතයක් කියලා ගත්තොත් මගේ මතකයට එන්නේ රජ කෙනකුගේ චරිතයක්. ඒ මහරජ ගැමුණු චිත්‍රපටයේ දීඝජන්තු කියන චරිතය තමයි මං හිතන්නේ ටිකක් අමාරු උනේ. නමුත් මං ලස්සනට ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ වෙන විදිහට රඟපෑවා.

…..” ඔබතුමා මේ වන විට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රඟපාලා තියෙනවා. මේ අතරින් කැමතිම ක්ෂේත්‍රය මොකක්ද?
“…. වේදිකාවට තමයි මං වැඩිපුරම කැමති. මොකද වේදිකා නළුවෙක් කියන්නේ එක් කොනක සිට කියන රහස අනෙක් කොනට ඇහෙන්න කතා කරන්න ඕන ඒ චරිතයට පණ පොවන්න ඕන කෙනෙක්. වේදිකාවෙන් පන්නරයක් ගත්ත හැම කෙනෙක්ම අද වන විට සිනමාව ජය අරගෙන තියෙනව.
….. කලා ජීවිතයේ ලද අත්දැකීම් පිළිබඳව මතක් කළොත්?
.” …. අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. දැන් මං රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ. 2017 දී මට ප්‍රශ්නයක් වුණා. හදිසි අනතුරකින් මගේ කකුල කැඩුනා. දැන් අවුරුදු තුනක් තුනහමාරක් විතර මම රංගනයෙන් ඈත් වෙලා ඉන්නේ.
…..ඔබේ ජීවිතය කණපිට පෙරලපු ඒ අනතුර පිළිබඳව දැනගන්න ඔබේ රසිකයෝ කැමැති ඇති. ඒ ගැනත් විස්තර කලොත්?
2017 මාර්තු 15 වනදා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා. රූගත කිරීමක් අවසන් කරලා වාරියපොල ඉඳලා මම කොළඹ එනවා. උදේ 6.45ට විතර ඇති. මං එන්නේ බයික් එකේ. මං කොහොමත් පදින්නේ බයික් විතරයි. එකපාරටම මට ඇහෙනවා වාහනයක් පිටිපස්සෙන් පිඹගෙන එන සද්දයක්. ඉතින් මම බයික් එක නතර කරලා පිටිපස්ස හැරිලා බලනකොට ට්‍පර් එකක් ඇවිත් මාව හප්පගෙන ගියා. මට ඇවිදගන්න බැරි උනා. මගේ කකුල කැඩුනා. කකුල අඟල් දෙකක් විතර කොට උනා. ඉතින් ඒ විදියට දැන් අවුරුදු හතරක් වෙනවා. මට මේ අත්දැකීම මගේ ජීවිතයේ කවදාවත් අමතක කරන්න බෑ. මොකද මං රජෙක් වගේ ජීවත් වුණේ. කිසිකෙනෙකුට අත පාලා නෑ. මට ලැබෙන චරිතෙට මං උපරිම සාධාරණය ඉෂ්ට කරනවා. මං අධ්‍යක්ෂවරයාගේ නිෂ්පාදකවරයාගේ හිතදිනාගෙන ලස්සනට වැඩ කරපු කෙනෙක්. ඒත් අද මං අසරණයි. නමුත් මං මේ වෙනකොට මගේ මානසිකත්වය හදාගෙන ඉන්නෙ. මං බෞද්ධයෙක්. මං අදහන බුදු දහමට අනුව මීට කලින් කරල තියෙන යම් කිසි කර්මයක් නිසා මේක මට වෙන්න තිබුණු දෙයක් වෙන්න ඇති. මේ සිදුවීම මං අදත් මතක් කරේ අහපු නිසයි නැත්නම් මම මේක මතක් කරන්න ආස නෑ.

මේ අනතුරෙන් පස්සේ ඔබතුමා අවුරුදු තුනක් විතර එක්තැන් වෙලා හිටියා. ඒ කාලේ කලා කටයුතු වලට බලපෑමක් උනේ කොහොමද?
“…2017න් පස්සේ මං කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නෑ. මොකද මගෙන් අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු බලාපොරොත්තු වුනේ ඉස්සර හිටිය දුවලා පැනලා ගහගෙන කඩිසරව වැඩ කරන කපිල සිගේරාව. දැන් මට මේ කකුලත් එක්ක ඒව කරන්න බෑ. ඉතින් මං හුදෙකලා ජීවිතයේ ඉන්නවා. නමුත් මට ලැබුනොතින් චරිතයක් මේ විදිහට කකුලත් එක්ක රඟපාන්න හැකියාව තියන මම ඒ චරිතය රඟපානවා.

…. අනතුරෙන් පස්සේ සහෝදර කලා ශිල්පීන්ගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද?
“….. මම මේක කාටවත් දොස් කියන්න කාවවත් හෑල්ලුවට ලක් කරන්න කියන දෙයක් නෙවෙයි. කලා ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ම දන්නවා මේ කපිල සිගේරා කියන්නේ කවුද කියල. ඒ කාලේ මට ගොඩක් උදවිය කතා කළා. නමුත් හැමදාම අදටත් මං ගැන හොයලා බලන්නේ එක චරිතයයි. ඒ ලකී ඩයස් විතරයි. ලකී අයියා තාමත් අහනවා මල්ලි කකුල කොහොමද කියලා. මේ ක්ෂේත්‍රයට මං ඇවිල්ලා දැන් අවුරුදු විසිපහක් විතර වෙනවා. ඉතින් මට සතුටුයි ලකී අයියා හරි මේ විදිහට මං ගැන හොයලා බලන එකට. අනිත් අයට මං දොස් කියනවා නෙවෙයි.

……ඔබේ ජීවිතයේ අමතක නොවන අවස්ථා මොනවද?
“….. මගේ ජීවිතයේ අමතක නොවන දවස් දෙකක් තියෙනවා. ඒ තමයි එකක් මගේ උපන්දිනය දෙසැම්බර් 18. අනිත් එක 2017 මාර්තු 15 මේ අනතුර උන දවස.
….. ඕනෙම කලාකරුවෙකුට තමන්ට ලැබෙන චරිතයට අමතරව සිත තුල වඩාත් ඇලුමි කරන චරිතයක් තියෙන්න පුළුවන්. ඔබතුමාටත් එවැනි චරිතයක් තියනවද ? “…..ඔව්. නිසල දිය සසල විය කියන ටෙලි නාට්‍යයේ මං සුමේධ හාමුදුරුවන්ගේ චරිතයට දායක උනා. මේ කෙස් ඔක්කොම බූ ගාලා කහ සිවුර පොරවලා කළුතර කන්දෙ විහාරෙ තමයි ඒ රූගත කිරීම් කළේ. ඒ අතර දවල් ආහාරයට ලැබෙන විවේකයේදී මං පුවක් ගෙඩියක් කප කපා හිටිය. මේ වෙලාවේ වන්දනාවේ ආව බස් එහෙක හිටිය කෙනෙක් අහලා තිබුණා මේ පන්සලේ නායක හාමුදුරුවෝ කෝ කියලා ඒ වෙලාවෙ අපේ නිෂ්පාදක කණ්ඩායමේ කෙනෙක් මාව පෙන්නලා තිබුණා. ඉතින් ඒ වෙලාවේ ඒ කෙනා ඇවිත් මට වැන්දා. ඇත්තටම මට නෙවෙයි කහ සිවුරට තමයි ඒ වැන්දේ. මට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට සම්මානෙකුත් හම්බවුණා ඒ චරිතයට. සුමේධ හාමුදුරුවන්ගේ චරිතය විප්ලවවාදී චරිතයක්.
….
ඔබේ කලා නිර්මාණ වලට ලැබුණු සම්මාන පිළිබඳව මතක් කළොත්? “……මට මොන සම්මාන ලැබුණත් මට ලැබුණු හොඳම සම්මානය තමයි ජනතා සම්මානය. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

……..කලා ජීවිතයේ දී වැඩිපුරම සටන් කලාකරුවෙක් විදිහට රගපාන ඔබ සැබෑ ජීවිතේ කොයි වගේ කෙනෙක්ද?
“….. මම විලන්ගේ චරිතයට වැඩියෙන්ම පණ පෙව්වාට, උස මහත තිබුනට සැබෑ ජීවිතයේ චණ්ඩියෙක් නෙමෙයි. මම නිහතමානි දුක දැනෙන පුද්ගලයෙක්. මගේ මේ ඇස් දෙකට කඳුලු උනන බොහොම සංවේදී චරිතයක්. නමුත් මට ලැබෙන ඕනෑම චරිතයක් හොඳයාකාරවම රඟපාන පුළුවන්. මට චණ්ඩියෙක් ද වයසක මිනිහෙක්ද ඒ විදිහට කියලා නැහැ. මං පාරේ හිඟා කන චරිතයකුත් කරලා තියෙනවා. එක චරිතයකට කියලා මං කොටුවෙලා නෑ. කොටු වෙන්නෙත් නෑ. ඒ වගේම මට මොකක් වුණත් සැබෑ ජීවිතේ මං අසාධාරණය වෙනුවෙන් කතා කරනවා. ඒ මගේ හැටි. ඒක එදත් එකයි අදත් එකයි හෙටත් එකයි ඒකේ වෙනසක් නෑ. අසාධාරණය වෙනුවෙන් කතා කරලා මං සාධාරණය දිනලා තියෙනවා ගොඩක්.

“….. කලාකරුවෙක් විදිහට දේශපාලනය එක්ක යම් සබඳතාවක් තිබෙනවා ද? ඔබතුමාගේ දේශපාලන පැතිකඩ කොයිවගේද? ප
“….. මං දකින විදිහට කලාකාරයෙක්ට දේශපාලඥයෙක් වෙන්න බෑ. මං දැකපු එකම කලාකාරයා දේශපාලකයා තමයි විජය කුමාරතුංගයන්. මොකද විජයත් එක්ක මේ මුළු රටක්ම එකතු වුණා. මේ රටම විජය අයියට ආදරය කළා. ඒ නළුවෙක් වශයෙන්. අද විජේ අයියා අපෙන් ඈත් වුණෙත් දේශපාලනය නිසා. නළුවෙකුට නිළියකට කවදාවත් දේශපාලනය හරියන්නේ නැහැ කියන තැනයි මං ඉන්නේ. නළුවෙක් නිලියක් බිහි වෙන්න ඕනේ පුංචි තිරයකට කැමරාවක් ඉදිරියේ රඟපාන්න විතරයි. හැබැයි ඒ විදිහට දේශපාලනයට ආව නළු නිළියන් හුඟ දෙනෙක් ඉන්නවා. නමුත් ඔවුන් කලාකරුවන් විදිහට මොනවද කරලා තියෙන්නේ. මුකුත්ම නෑ. හැම දෙයක්ම කරලා තියෙන්නේ තමන්ගේ වාසියට විතරයි. මගේ හොදම යාළුවො ඉන්නවා හොඳ නළුවෝ ගොඩක් ඉන්නව දේශපාලනයට ගියාට පස්සේ ඔක්කොම වෙනස් උනා. මාත් එක්කමයි ජයන්ත කැටගොඩ ක්ෂේත්‍රයට එන්නේ. මම කලාකරුවෙක් වුණා. මගේ ටීචර් ගේ පුතා වුණු මගේ හොඳම යාලුවා උනු කැටගොඩ දේශපාලනයට ගියා. ඒත් එයා කරගත්තු දේකුත් නෑ එයාට වෙච්ච කෙනෙකුත් නෑ. කලාකාරයෝ ජනතාව නියෝජනය කරන්න ඕනේ. ඒත් ඒ දේශපාලනය කරලා හරියන්නේ නැහැ. මං ඉන්නේ ඒ ස්ථාවරයේ. ඒක හරි යන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් කාට හරි.

…. මේ කලා ගමන එන්න පෞද්ගලික ජීවිතයේ පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය කොයිවගේද?
“….මගේ වයිෆ් මේනු. මට ඉන්නවා දුවලා දෙන්නෙක්. නිවර්තනා සහ සොනාලි. ඉතින් මගේ පවුල් ජීවිතේ ගොඩක් සුන්දරයි. මට ගොඩක් පිටිවහලක් වෙලා තියෙන්නෙ මගේ නෝනා තමයි. මං ඒ දවස් වල රූගත කිරීම් වලට යනකොට මගේ ඇඳුම් පවා සෝදලා දීලා තියෙනවා. මගේ පවුල් ජීවිතේ බොහොම ලස්සනට මං ගෙවනවා. බොහොම නිදහසේ ගෙවනවා.
….. අවසාන වශයෙන් ඔබේ රසිකයන්ට කියන්න තියෙන්නෙ මොකක්ද?
“…..මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ කපිල සිගේරා කියන රංගන ශිල්පියාව හැම කෙනෙක්ම දන්නවා. මගේ ටෙලිනාට්‍ය, චිත්‍රපට බලපු අයට නම් කවදාවත් මාව අමතක වෙන්නේ නැහැ. ඒ අය මාව අමතක කරන්නෙත් නෑ කියලා මං දන්නවා. මං ඒ හැමෝටම ආදරෙයි…..

ටෙක්ලා දිල්රුක්ෂි

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments