දෑත වඩා සුන්දර කරගන්න නිය ආලේපන ගැල්වීම බොහෝ දෙනකු අනුගමනය කරන පිළිවෙතක්.නමුත් නිසි දැනුම්වත්කමක් නොමැතිව අතට අසුවන ඕනෑම නිය ආලේපනයන් තැවරීම නොසිතූ ගැටළුවලට ඔබ කැඳවන ක්‍රියාවක්. අඩුවට ලාභයට , නැතිනම් කාගෙන් හෝ තෑගි ලැබූ පමණින් නිය ආලේපන හිතුමතයේ ගල්වන්නට එපා. එය ඉතාම අහිතකර ක්‍රියාවක්. නිය ආලේපන වුවත් කල් ඉකුත් වෙන බව මතක තබා ගන්න. එවිට ඒවා කැටි වශයෙන් තැවරීමට අපහසු බවක් දක්වන්නට පුළුවන් . එවන් නිය ආලේපන වහාම ඉවතලන්න.
තිනර් හෝ ටර්පන්ටයින් දමා ඒ කැටි දියකොට නිය මත එම ආලේපන තැවරීම සුදුසු ක්‍රියාවක් නොවේ. නිය ආලේපන තැවරීමේදී මෙන්ම ඉවත් කිරීමේදීද සූරා ඉවත් කිරීම මෙන්ම ටර්පන්ටයින් , හෝ තිනර් ඊට යොදා නොගන්න.
මේ සඳහා සකස් කළ නේල් රිමූවර් ස්වල්පයක් පුළුන් කැබැල්ලකට ගෙන අතුල්ලා පරණ ආලේප ඉවත් කරනවා විනා බ්ලේඩ්වලින් සූරා ඉවත් කිරීම නොකළයුතුය.
නිය ආලේපන ගල්වන්නට පළමු පිට අත්ල සුදුසු ස්ක්‍රබ් ස්වල්පයකින් පිරිමැද සෝදා ගත යුතුය. වැස්ලින් හෝ සුදුසු බොඩි ලෝෂන් වර්ගයකින් ස්වල්පයක් ඇඟිලි තුඩට ගෙන නිය ආලේපන ගැල්වීමට ප්‍රථම ඇඟිලිවලට තවරා මෘදුව සම්භාහනයන් සිදුකරන්න.හයිඩ්රජන් පෙරොක්සයිඩ් ( ෆාමසියකින් ලබා ගත හැක.) ස්වල්පයක් නිය හම වටා,ආලේප කර හොඳින් කුණු ඉවත්කර නියපොත්ත වියළිව තබා ගන්න. ටිෂූ කඩදාසියකින් නියපොත්ත වියලිව පිසදා ගන්න.
බේස් කෝට් නැති නම් පදනම් ආලේපනය,නිය ආලේපන ගැල්වීමට පෙර නියපොත්ත මත ආලේප කළ යුතුය. එය ක්ෂණිකව වියලී යන අතර නියපොත්තට ආරක්ෂාව සලසයි.නිය ආලේපනයේ පවතින රසායනික සංයෝගයන් නියපොත්තට උරාගැනීමද වලකයි. මේ නිසා බේස් කෝට් යනු නිය ආලේපනයට පෙර යොදන ආරක්ෂිත උපක්රමයකි. නිය ආලේපන තෝරා ගැනීමේදී හොඳම බ්‍රෑන්ඩ් එකක ආලේපනයක් මිල ට ගන්න. බාල ඒවා විෂ සංයෝග වලින් ගහන බැවින් විෂ වීම් වලට තුඩු දිය හැකිය. මේ විෂ වීම් නිය හම පැසවීම, තුවාල වීම කළු පැල්ලම්,ඇතිවෙන තත්ත්වයක් මතුකරවීමට ඉඩ තිබේ. දැන් නිය ආලේපනය යට සිට නිය පොත්තේ මුදුන තෙක් ආලේපන ගල්වන්න.දෙපැත්තේ තීරු දෙක ආලේප කර දෙවනුව මැද තීරුව ආලේප කරන්න. වේලෙන්නට ඉඩ දී නැවත වතාවක් ආලේප ගල්වන්න.නැවත වියලෙන්නට ඉඩදී අනතුරුව ටොප් කෝර්ට් එක ගල්වන්න. දැන් නේල් රිමූවර් ටිකක් කොට්න් බඩ් එකකට ගෙන තැන තැන තැවරුණු නිය ආලේපන ඉවත් කරන්න. දැන් ඉතාම පියකරු නියපෙළක් බවට ඒ නිය පෙළ පත්ව තිබෙනු ඇත.
නිය ආලේපන සෑදීම සඳහා යොදාගන්නේ තිනර් හෝ ටර්පන්ටයින් යැයි ඔබත් සිතනවාද, මතක තබා ගන්න එයට යොදන්නේ බී පී ග්‍රේඩ් ගණයේ නැතිනම් විෂ රහිත මිනිස් සිරුරට විෂ නොමැති ගණයේ අමුද්‍රව්‍ය වලින් බව. නැතිනම් විෂ නැසූ අමුද්‍රව්‍ය බව. නමුත් ඔබ යොදා ගන්නා ටර්පන්ටයින් හෝ තිනර් එවන් එවා නොවීම එහි ඇති ගැටළුවයි..
–යසස්වීනී ජයතිලක–